ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමුත්තන් සඳහා ලබා දුන් තේ පැන් සංග්‍රහය සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වර්ජනය කර ඇත.
මෙම තේ පැන් සංග්‍රහය ඊයේ (18) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදීය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකෙරුණ හෙයින් ජනතාවගේ පැත්තෙන් සිතා එම තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියගෙන් කළ විමසුමක දී ඈ සඳහන් කළේ තම පක්ෂය එම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවීමට තීරණය කළ බවයි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් නොකෙරුණු හෙයින් තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් ප්‍රකාශ කළේය.