ජනතා සරණ පැතූ අපේක්ෂා රෝහලට කඳ සුරිඳු පිහිට වෙයි… කතරගම දේවාලයෙන් ඖෂධ සහ උපකරණ…!

October 6, 2026 at 1:45 pm | by emanisa.lk

රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල මගින් පියවර ගෙන ඇත.

පසුගියදා ජාතික පුවත්පතක පළ වූ වාර්තාවක් මගින් අපේක්ෂා රෝහලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාව පිළිබඳව රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව, රෝගී සත්කාරක සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහය දැක්වීම පිණිස ප්‍රථම අදියර ලෙස රු. ලක්ෂ 15ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට ගරු බස්නායක නිලමේ තිළිණ මධුෂංක විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙම පරිත්‍යාගය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට රෝහලට අත්‍යවශ්‍යව පවතින ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ පිළිබඳ විස්තරාත්මක ලේඛනයක් හා ඇස්තමේන්තුවක් කඩිනමින් ලබාදෙන ලෙස දන්වමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල වෙත (05) දින නිල වශයෙන් ලිඛිතව දැනුම් දී ඇත.

අදාළ තොරතුරු ලද වහාම රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල මගින් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් සම්පූර්ණ කර අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට නියමිත අතර, රෝගී ජනතාවගේ සුවසෙත උදෙසා කතරගම දෙවියන්ට පිං පිණිස මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුහුණු මහා කතරගම දේවාලය කැපවී සිටී.

මාධ්‍ය අංශය
රුහුණු මහා කතරගම දේවාලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *