පරාජිත මනෝභාවය සමාජගත කිරීම අපරාධයක් බවට සහ විරහී ගී නිර්මාණකරුවන් සමාජයෙන් ඈත් කළ යුතු බවට ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.
ඔතෙලෝ සහ ධනාත්මක චින්තන සාහිත්‍යය…
අර මන්ත්‍රී ඉංග්‍රීසි ගුරුවරයෙක්ව උන්නලු. ඉංග්‍රීසි සාහිත්‍යය ආදිය ගැන දන්නවා ඇති. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වයසක කාන්තාවක්ව මරන “අපරාධය සහ දඬුවම”, තහනම් ප්‍රේම සම්බන්ධතා නිසා දිවි නසා ගන්නා බිරින්දෑවරු ගැන කියවෙන “එමා බොවාරි”, “ඇනා කැරනිනා” ආදි ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති පැත්තක තියලා “ඔතෙලෝ” ගැන ටිකක් බලමු.
ඔතෙලෝ වැනීසියානු හමුදාවේ ජෙනරාල් කෙනෙක් වුණත් මුවරයෙක්. මුස්ලිම් කෙනෙක් කියමුකො. නාට්‍යයට පසුබිම් වෙන කාලෙ මධ්‍යධරණී යුරෝපය මුස්ලිම් අයගෙත් වාසභූමියක්නෙ. ඉතිං ඔන්න මේ මුවර් ජෙනරාල් වැනීසියෙ ඒ කාලෙ හිටපු ලස්සනම කෙල්ලක වන ඩෙස්ඩෙමෝනාගෙ හද දිනා විවාහ වෙනවා.
වැනීසියෙ තවත් බලවත් පිරිමි ඇයට ආසා කළා. ඒ සියලු දෙනාම මුවර් නෙමෙයි. ඔය ලිංගික ඊර්ෂ්‍යාව, ජාතිවාදී අගති, බලකාමය ආදිය නිසා ඒ පිරිමි ඔතලෝට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. නාට්‍යයේ කථා වින්‍යාසය සකසන ප්‍රධාන කරුණක් ඒ කුමන්ත්‍රණ. අර ලේන්සු සිද්ධිය එහෙම. ඉතිං කුමන්ත්‍රණය අවසන් වෙන්නේ ඔතලෝ සිය රූබර බිරිඳ සිරියහනේම මරා දමා තමනුත් දිවි නසා ගැනීමෙන්.
අපේ පාර්ලිමේන්තු කතාවකට අනුව වැරදි ආදර්ශ දෙන නාට්ටියක්. ඔය ‘නිෂේධනීය’ සිද්ධි නිසා තමයි මනුෂ්‍ය ජීවිතය හා සමාජය මෙහෙයවන ආදරය, ලිංගික ආශාව, බලකාමය, ජාතිවාදී අගති ආදිය ගැන ගැඹුරු ‘සාධනීය’ අවබෝධයක් අපට ලැබෙන්නේ.
ශේක්ස්පියර්ගේ නාට්‍ය ඔක්කොගෙම වගේ ඔය වගේ මරණ අඩු වැඩි වශයෙන් තියෙනවනෙ.
බරපතළ සාහිත්‍ය කලා කෘති ජීවිත පරිඥානය වර්ධනය කරන්නේ එහෙම තමයි. ඔතෙලෝ බලපු, කියවපු සැමියන් සියලු දෙනා තම බිරින්දෑවරු ඝාතනය කරලා නෑනේ. මේ ටික හිටපු ඉංග්‍රීසි-ගුරු මන්ත්‍රී ගුරු පුහුණුවෙදි අහල ඇතිනේ. ගුරු ගීතෙයි, අම්මයි විතරක් දැනගෙන මදි මල්ලි.
fb