ගිනි අවිය පත්තු කරන්න බය වෙන්න එපා…අපරාධකරුවන් තුරන් කිරීම පවක් නෙමෙයි…! – පොලිස් ඇමැති…

April 25, 2024 at 5:12 pm | by emanisa.lk

අපරාධකරුවන් මේ තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

“අපි ඔබ වෙනුවෙන් හරි දේට පෙනී හිටිනවා. මම මෙතන වැඩිය කතා කරන්න ඕන නැහැ. මෙතන අය මොකක් ද? කරන්න ඕන කියල දන්නවා. මොකක් ද? අවශ්‍යතාව කියලා හැමදේ ම දන්නවා. මේ කණ්ඩායම මදි වුණොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටවනවා.

අපට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබ සියලු දෙනාට ම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක් ම කළා. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.

කුඩු විකුණන, පාතාලයට සම්බන්ධ, මිනීමරන පුද්ගලයන් මේ රටින් තුරන් කිරීම පවක් නෙවෙයි. ඒ නිසා ඔබේ ඉලක්කයට ඔබ යන්න. මේ වැඩ කටයුත්ත පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහිල්ලා මේ රට හොඳ තැනකට ගෙනියමු.”

ඔහු මේ බව සඳහන් කළේ, අද (25) කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන් 100ක් විසිර යාමේ පෙළපාලියේදී ය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව රාජකාරී නිරත නිලධාරීන්ගේ සහයට මෙන් ම වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කර පළා යන වෙඩික්කරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් මෙම යතුරුපැදි කණ්ඩායම පුහුණු කර තිබේ.

මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ පළාත් යටතේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ රාජකාරී යෙදවීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *