ගිණුමේ සල්ලි ගත්තේ කෙහෙළියගේ දුව… පුතාට පසු දුවත් හිර ගෙදර පෙනෙන මානේ….!

May 27, 2025 at 12:58 pm | by emanisa.lk

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඊයේ (26) නියෝග කළාය.

ඒ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිත කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අනාවරණය විය.

මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැර වී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිත කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පවසා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිත කළේ අමාත්‍යවරයාගේ දියණිය බවයි. එම ගිණුමට පෞද්ගලික පාර්ශ්වයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇප මත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බව සඳහන් කළේය.

අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ කෙටි පණිවිඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකථනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු විසින් දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *