ගව පාලනය සඳහා අලුත් තරුණ පරපුරක් හදනවා…! – නාමල් කරුණාරත්න….

August 20, 2025 at 4:02 pm | by Namal

ශ්‍රී ලංකාවේ ගොවියා ඉරුණු කලිසම සහ උඩ යට මාරු කර බොත්තම් දමන කමිසය ඉවත් කර ස්මාර්ට් ගොවියෙකු බවට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් සහ වස්සන් ගෙන්වා ලංකාවේදී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු පමණක් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා වැස්සි පැටවුන් බිහි කර ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 10ක් පමණ වන අතර, එය දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට 35-40ත් අතර ප්‍රමාණයක් සපුරාලන බවයි.

එසේම 2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් ඉක්මවීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දියුණු වැස්සි පැටවුන් ලබා දීම, නව ගව ගාල් හඳුන්වා දීම, ගොවීන්ට අවශ්‍ය තණකොළ වර්ග ලබා දීම ඇතුළු සියලු පහසුකම් කිරි ඉතිරෙන රටක් වැඩසටහන යටතේ කිරි ගොවීන්ට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

නව ජවයකින් යුතුව කිරි ගව පාලනය සඳහා අලුත් තරුණ පරපුරක් ද ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *