කෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්…!

November 18, 2023 at 10:37 am | by emanisa.lk

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය තීරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතැයි පැවසෙන සබඳතා හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.

රංජිත් බණ්ඩාරගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බව ද එම ඔවුහු සඳහන් කරති.

කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි. ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නවතා දැමීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ තීරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *