වැඩිහිටි ජනගහනයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර වර්තමානය වන විට අධි රුධිර පීඩනය හේතුවෙන් සිදුවන මරණ ගණන ඉහළ යමින් පවතින්නේ යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රළපනාව පවසයි.
දකුණු ආසියාතික රටවල මැදිවියේ පුද්ගලයන් තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් හඳුනාගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ද කොරෝනා ව්‍යසනය ඇති වූ කාලයේ සිට වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අවපාතය වැනි සමාජ, ආර්ථික ප්‍රශ්න මේ තත්ත්වය ඉහළ යාමට බලපා ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය.
රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් අධි රුධිර පීඩනය නිහඬ මරණයක් පුද්ගලයෙකුට උරුම කර දෙන බව පැවසූ වෛද්‍ය රළපනාව කියා සිටියේ, ඉතා කලාතුරකින් අධික හිසරදය, ක්ලාන්තය වැනි රෝගී තත්ත්වයන් මේ තත්ත්වය උත්සන්න වූ විට ඇති විය හැකි බව ය.
“අධි රුධිර පීඩන තත්ත්වය පෙර ලක්ෂණ පහළ කරන්නේ නැති නිසා බොහෝ විට මරණය දක්වා ම එය හඳුනාගත නොහැකියි. මේ තත්ත්වය පාලනය නොකළහොත් එයින් ඇතිවිය හැකි සංකූලතා බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි.”
වර්තමානයේ රටේ මතුව තිබෙන තත්ත්වය දැනට බොහෝ දෙනෙකු මානසික ආතතියෙන් පෙළීමත්, ජනතාව අතර අධික රුධිර පීඩන තත්ත්වය වැඩි වීමට හේතුවක් බව ද හෙතෙම කීය.