කුරුන්දි රජමහ විහාරයේ පොලිස් ආරක්ෂාව ගලවයි… ඓතිහාසික පුරාවස්තු සහ රක්ෂිතය දැඩි අවදානමක… යළි ආරක්ෂාව ඉල්ලා විහාරාධිපති හිමිගෙන් බුද්ධ ශාසන ඇමතිට ලිපියක්…!

August 30, 2026 at 12:37 pm | by emanisa.lk

මුලතිව්, ඓතිහාසික කුරුන්දි රාජමහා විහාරයේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා මෙම ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ දැඩි ගැටලු මතුව ඇති බවත් එම ආරක්ෂාව නැවත ලබා දෙන ලෙසත් ඉල්ලමින් විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් බුද්ධ ශාසන ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි වෙත ලිපියක් යොමු කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්.
ඓතිහාසික කුරුන්දි රජමහා විහාරය
KURUNDI RAJAMAHA VIHARA
THANNIMURIPPU, MULLAITIVU
Registration: 24/15/005

29/08/2026
ගරු අමාත්‍යතුමා,
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
කොළඹ 07.

ගරු අමාත්‍යතුමනි,

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ලබාදෙන ලෙස ඉල්ලීම යි.

කුරුන්දි විහාර භූමියේ කැනීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ පටන් වසර ගණනාවක් පුරාවට පොලිස් නිලධාරීහු මෙහි ආරක්ෂාව පිණිස රැඳී සිටියහ. කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වසර ගණනාවක් පුරාවට රැඳී සිටි පොලිස් නිලධාරීහු විශේෂයෙන් මේ අවට පුරාවිද්‍යා ස්ථාන සහ පුරාවස්තුන්ගේ ආරක්ෂාවත්, මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත් පිළිබඳ කටයුතු කළහ.

එසේම පසුගිය කාලයේ පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ක්‍රියාකාරකම් සහ හානි සිදුවීමට ඇතැම් තැනැත්තන් උත්සාහ කළ අවස්ථාවන්හි දී ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් එම හානි සිදුවීම් වළක්වා ගැනීමට ද පොලීසිය කටයුතු කළේ ය. තව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වෙත ඇතුළු වී අනවසරයෙන් එයට හානි කරන අය අත්අඩංගුවට ගැනීමට ද ඔවුන් කටයුතු කළහ.

එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරීන් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සහ දැනට රැඳී සිටින යුද හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට එසේ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට බලයක් නැති වීම තුළ මේ අවට ඇති පුරාවස්තුන්, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්වේ. විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද ඔවුන් සමඟ කතා කිරීමට සහ වැළැක්වීමට සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණකි.

එබැවින් මෙම කරුණු සලකා බලා ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවතත් ලබාදෙන මෙන් කාරුණික ව ඔබතුමා වෙත සිහිපත් කර සිටිමි.

ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආශීර්වාදය, නිරෝගී සුවපතභාවය, චිර ජීවනය සැලසේවා!

මෙයට,

සසුන් ලැදි,

(අත්සන)
පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්ථවිර

පිටපත්
1. පූජ්‍ය මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
2. ගරු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
3. ගරු පොලිස්පතිතුමා
4. ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා (උතුරු පළාත)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස