කුඩු ජාවාරම්කරුවන්ට පහසුකම් දුන් බැංකු ලොක්කන් නඩු! සියලු බැංකු ප්‍රධානීන්ට ආරක්ෂක ලේකම්ගෙන් දැඩි අවවාද!

September 29, 2020 at 3:38 pm | by emanisa.lk

කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වා ගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

කුඩු ජාවාරම්වලට අදාළව පසුගිය වසර දෙකට රුපියල් ලක්ෂ 4800ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් සොයාගත් බවත්, මෙම ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම බැංකු ශාඛාවල කළමනාකරුවන් වගකිවයුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනක් සංසරණය වීමේ සිද්ධීන් හෙළිවීමත් සමග සියලුම බැංකු ප්‍රධානීන් ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවීමට ද ආරක්ෂක ලේකම්වරයා පියවර ගෙන ඇත.

මෙවැනි සිද්ධීන් මගින් බැංකුවල කීර්තිනාමයට හානි කර නොගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දන්වා තිබේ.

එමෙන්ම කුඩු ජාවාරමුන්ගේ වැඩිම බැංකු ගිණුම් ප්‍රමාණයක් පවත්වා ගෙන ගිය පෞද්ගලික බැංකුවක ප්‍රධානීන් වෙනම ම ගෙන්වා මින් ඉදිරියට මෙවැනි දේට ඉඩ නොතබන ලෙසද දැනුම් දී ඇත.

සාමාන්‍ය පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙකක් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ගියවිට මුදල් ආ ආකාරය ඇතුළු ප්‍රශ්න මාලාවකට උත්තර දීමට සිදුවූවත් කුඩු ජාවාරමුන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ලක්ෂ ගණනින් මුදල් හුවමාරු කිරීමට ඉඩ සැලසී ඇතැයි ආරක්ෂක ​ලේකම්වරයා පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස