විදුලි බිල ඉහළ ගියද එය මෙරට ජනතාවගෙන් සියයට අනූහයකට බලපෑමක් සිදුනොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
”විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතු වෙලා තියෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් රුපියල් 382ක් වෙනවා. රුපියල් 382ක් වෙනකොට ආණ්ඩුව රුපියල් සීයක් දෙනවා විකුණන හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් තමුන්නාන්සේලා ෂෙඩ් එකට ගිහිල්ලා ගහන පෙට්‍රල් ලීටරයක් රුපියල් හාරසිය අසූ දෙකක් වෙනවා. හැබැයි ගහන්නේ තුන්සිය අසූ දෙකට. ජනතාව බලා ගන්න ඕනේ ආණ්ඩුවක්.
නමුත් තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපේ රුපියල් කෝටි හයදාහක් වෙන් කරලා තියෙනවා මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දීමට. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. සමහර විට කුඩා ප්‍රමාණයන්වලට අපේ මිල ඉහළ දාන්න සිදුවේවි. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා.
බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා.
ගල් අඟුරු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. යම් ප්‍රමාණයක අපේ ජලාශවල වතුර අඩුවෙලා තියෙනවා. මිල වැඩිවීමක් වුණොත් 96%කට බලපාන්නේ නැහැ. 4%කට විතරයි මිල වැඩිවීම සිදුවන්නේ. අපි රුපියල් කෝටි 1500 ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා. ඇයි මේක වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක්.”
ඊයේ (01) මහරගම දී මැයි දින රැලියට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.