කිසිම සැලැස්මක් නැතිව රට ඉබාගාතේ යනවා…! – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ….

March 21, 2025 at 9:22 am | by emanisa.lk

සංවර්ධනය වන රටවල් අතර සැලසුමක් නොමැතිව ඉබාගතේ යන රට ලංකාව බවත්, මෙම රජය හෝ පස් අවුරුදු සැලැස්මක් අනුව මෙවර අයවැය ඉදිරිපත් කරනු ඇතැයි බලා සිටියද, එවැන්නක් පෙනෙන්නට නැති බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

වරින්වර වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති තුළින් බැහැරව ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑමේ වැදගත්කම සහ 2025 වසරේ චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ අවධානය යොමුකරමින් කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු එසේ අදහස් දැක්වීය.

‘සැලසුම් සහගත ආර්ථික හා සමාජීය වැඩපිළිවෙළක වැදගත්කම’ යන මැයෙන් චීන මාධ්‍ය සමූහ​යේ සිංහල සේවය මගින් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය.

“මේ දක්වා චීනය ආ ගමන්මග ගත්තම අලුත් ආර්ථික ආකෘතියක් ගැන හිතන්න සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉඩ ලබා දී තිබෙනවා. එහිදී වෙළෙඳපොළ හා රජය යන අංශ දෙකේ සංකලනයකින් යුතුව ආර්ථික වර්ධනය ඇතිකරගත හැකියි කියන’ මූලික දැක්ම චීනය ලොවට ලබාදී තිබෙනවා.

ඒ වගේම චීන ජාතික මහජන කොන්ග්‍රසය වෙත චීන රජය පසුගියදා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්යය වාර්තාව ලොව අවධානයට ලක්ව තිබෙනවා. ඉන් 2024 වසරේ චීන ආර්ථික සංවර්ධන ඉලක්ක හා මාර්ග සිතියම විශේෂයි. චීනය මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනයේ සියයට පහක වර්ධනයක් අපේක්ෂා කරනවා.

මේ ඉලක්කයට පිටුපසින් ඇති කතාව තමයි ගෝලීය වෙළෙඳ යාන්ත්‍රණය බරපතළ බිඳ වැටීමකට ලක්වෙමින් පවතිනවා. එවැනි අභියෝගයක් තුළ තමයි චීනය මෙම ආර්ථික වර්ධනය ඉලක්කය ලබාදී තිබෙන්නේ. ඒ තුළ චීනය උත්සහ කරනවා බටහිර ප්‍රමුඛ ඇමරිකානු කලාපය තුළ වෙළෙඳමට අදාළ බාධා මතුවූවත් චීනය තවදුරටත් ගෝලීය වෙළෙඳ ස්ථායිතාවයට අදාළව ආයෝජන පුළුල් කිරීමට පෙනී සිටිනවාය කියන කාරණය සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *