කිලිනොච්චි පිපිරීමට සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට! ඔහු හිටපු කොටි සාමාජිකයෙක්!

July 8, 2020 at 5:46 am | by emanisa.lk

කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ නිවෙසක් තුළ ඉකුත් දා සිදුවූ පිපිරීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ සහ කිලිනොච්චිය ආරක්ෂක අංශ නිලධාරීන් විසිනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය කලාපයට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හිටපු LTTE සාමාජිකයෙකු වන අතර පුනරුත්තාපනය වීමෙන් අනතුරුව ඔහු සිවිල් ආරක්ෂක බලකායට එක් වූවෙකි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු හිටපු LTTE සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ මේ වන විට ත‍්‍රස්ත විමර්ශන ඒකක⁣ය භාරයේ රඳවා තබා වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙයි.

එම ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ නිවෙසක ඉකුත් දා සිදුවූ අදාළ පිපිරීමෙන් පසුව එම නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ හිටපු LTTE සාමාජිකයෙකුගේ ඡායාරූපයක් සොයා ගැනුණි.

සැකකරුවන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේ කුමන කටයුත්තක් වෙනුවෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

කෙසේවෙතත්, අදාළ සිදුවීමෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි කිරීම් ද සිදුකෙරෙන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස