කිතුනු පූජකයන්ට ඕන පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් චුදිත නිලධාරීන් ලවා විමර්ශන කරන්න…! – සාගර…

October 21, 2024 at 4:33 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ සත්‍යය වසන්කිරීමට රටේ වැඩිම අවශ්‍යතාව ඇත්තේ අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට ද යන ප්‍රශ්නය අද වන විට සමාජයේ මතුවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

“අද දිනයේ රටේම කැලඹිලා තිබෙනවා පහුගිය කාලයේ පාස්කු ප්‍රහාරය මත ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රටේ විවිධ අදහස් පල කළා. අපි දැක්කා එක අවස්ථාවක මේ පාස්කු ප්‍රහාරයේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පටවන්න සමහර ආගමික නායකයින් සහ සමහර දේශපාලන පක්ෂ බොහෝම අසාර්ථක උත්සහයක යෙදෙනවා.

මේ රටේ ජනතාවට මුලින් මතක් කරන්න ඕන පාස්කු ප්‍රහාරය සිදුවන්නේ 2019. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මේ රටේ දේශපාලන බලය තහවුරු කරලා මේ රටේ ඉදිරි ඕනෑම ඡන්දයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා කියන ස්ථාවරය මේ රටේ ඇති කළේ 2018 මාර්තු මාසයේ පැවති පළාත් පලාන ඡන්දයෙන්. මේ ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට විවිධ චෝදනා එල්ල කරපු පසුබිමක මේ වන විට ඇත්ත එළිවෙමින් තිබෙනවා.

පහුගිය කාලයේ අපේ පක්ෂයට, අපේ නායකයින්ට චෝදනා කළා මේ රටේ මුදල් උගන්ඩාවට ගෙනිච්චා කියලා. ඒ කියපු පිරිසම පාපෝච්චාරණය කළා. ඒ වගේම මේ වන කොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, මේ කළ චෝදනා සම්බන්ධයෙනුත් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා. අපි උදයගම්මන්පිළ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ කරපු හෙළිදරව්ව සම්බන්ධයෙන්.

මේ කාරණය අනුව අපිට පෙනි යනවා මේ චැනල් 4 කියන නාලිකාව එල්ටිටිඊ සමඟ යුද්ධ කරන කාලයෙත් බොරු වාර්ථා චිත්‍රපටි හදපු නාලිකාවක්. මේ චැනල් 4 නාලිකාවේ බොරු චිත්‍රපටියක් රූගත කළා පහුගිය කාලයේ. එය ජාතික බලවේගය විනාශ කරන්න කරපු ක්‍රමන්ත්‍රණයක ප්‍රතිපලයක් හැටියට තමයි දකින්නේ. මේ චැනල් 4 නාලිකාවේ බොරු විඩියෝ පටය ප්‍රචාරය වුණාට පස්සේ එවකට ජනාධිපතිධූරයේ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරපු කමිටු දෙකක් තිබෙනවා.

එකක් තමයි චැනල් 4 සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන්න. අනෙක් කමිටුව තමයි ඒ අවස්ථාවේ ආරක්ෂක අංශවලින් යම්කිසි අතපසුවීමක් හෝ වැරදීමක් සිදුවුණාද කියලා හොයන්න. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල වාසිය ගත්තා ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම කාදිනල්තුමාගේ සම්පූර්ණ උදව් ලබාගත්තා. ඒ වගේම මේ රටේ ඉන්න කිතුනු බැතිමතුන්ගේ, අප වෙත ලබාදුන් ඡන්ද සියල්ල ඔවුන් වෙත ලබාගත්තා. මේ සියලු දේවල් කරලා මේ වන විට බලළා මල්ලෙන් එළියට පැනලා තිබෙනවා කියන සැකය අපිට තිබෙනවා.

මේ වාර්තා අනුව මේ රටේ පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නට පසු හොඳින් දැනුවත් වෙලා හිටපු, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්ත පුද්ගලයෙක් තමයි මේ වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත්කරලා තිබෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් කටයුතු නොකරපු, චෝදනාලත් පුද්ගලයෙක් විශ්‍රාම ගිහින් සිටින අවස්ථාවක ඒ විශ්‍රාම ගත් පුද්ගලයෙක් විශේෂ කැබිනට් පත්‍රිකාවක් තුළින් නැවත සේවයට අරගෙන ඒ පුද්ගලයාට මේ රටේ අපරාධ විමර්ශනය භාරදීලා තිබෙනවා.

මෙවැනි පුද්ගලයින්ට මෙසේ දෙන්න අනුර කුමාර ජනාධිපතිතුමාට තිබෙන හේතුව කුමක්ද? එතුමාට යමක් හංගන්න අවශ්‍ය නැත්නම්. එය තමයි මේ රටේ ජනතාවට තිබෙන පළමුවෙනි ප්‍රශ්නය. එතුමා දැනුවත් වාර්තාවක සෘජුවම චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින් දෙදෙනෙකු ගෙන්වගෙන ඔවුන් දෙදෙනාට මේ සියල්ල භාරදීලා මේ කරන්න යන්නේ කුමක්ද? ඇත්ත එළියට එ්ම වසන්කිරීමට මේ රටේ වැඩිම අවශ්‍යතාව තිබෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට ද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තිබෙනවා.

මේ දේ පිළිබඳව අවංකව පරීක්ෂණයක් කරලා අලුතින් යමක් මේ රටේ ජනතාවට අරගෙන දෙන්න ඕනේනම් මෙයට සම්බන්ධයක් නැති අවංකව, මේ පිළිබඳව කැපවෙන පිරිසක් යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් මේකට ප්‍රධානම චූදිතයින් වෙච්ච , මේ වන විට අත්තඩංගුවට පත්වෙන එක නතර කරන්න අපේක්ෂිත ඇප ගත්ත සමහර පුද්ගලයින් ඉන්නවා. මෙය සැඟවීමට උත්සහ දරන්නේ ඔබතුමන්ලාට මෙහි යමක් සඟවන්න අවශ්‍යතාව තිබෙනවාද කියන ප්‍රශ්නයට මේ රටේ ජනතාවට ඔබතුමන්ලා පිළිතුරක් ලබාදිය යුතුයි.

ඒ වගේම අපිට විශ්වාස කරන්න බැරිම දේ තමයි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි කියපු, ඒ වගේම කරපු පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමට පත්වෙන්නේ නැහැ කියපු කිතුනු ආගමික නායකයින් මේ වන විට මේ සම්බන්ධයෙන් හොඳින්ම දැනුම්වත් වෙලා ඉඳලා, ඇයි මේ නිලධාරීන් ලවා මේ පරීක්ෂණයක් කරවන්න ඕන කියන කාරණය තුළ මේ සිදුවෙච්ච ඛේදවාචකය යටගහන්න ඔබවහන්සේලා, ඔබතුමන්ලා මේ දරන උත්සහය ජනතාවට අද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. නමුත් මෙය දෙවියන් වහන්සේ විසින් සත්‍ය පෙන්වාදීම සිදුකරනවාද කියන කාරණය අපිට හිතෙනවා මේ සිදුවෙන දේවල් තුළින්.”

සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද දින (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස