රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී විසිඑක් දහස් අටසිය පනස්හයකින් අඩු වී ඇති බැව් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.
2020 වර්ෂයේ දී දාහතර ලක්ෂ විසිතුන්දහස් එකසිය දාසයක් වූ මුළු රාජ්‍ය සේවක සංඛ්‍යාව 2021 වර්ෂය අවසන් වන විට දාහතර ලක්ෂ එක්දහස් දෙසිය හැටක් දක්වා අඩු වී තිබුණි. විශ්‍රාම ගැනීම් නවතන තුරු අනුමත කිරීම සීමා කිරීම, නව බඳවා ගැනීම් සීමා කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ සේවක සංඛ්‍යාව පහළ යෑමට හේතු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
රාජ්‍ය ආදායමෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් හා වේතන සඳහා වැය වෙයි. එම වැටුප් හා වේතන සඳහා 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 794.1ක් වැයවී තිබුණි. 2021 වර්ෂයේ දී ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 845.7ක් වන අතර එය 2020 වර්ෂයට සාපේක්ෂව සියයට 6.7ක වැඩිවීමකි.