කන්ටේනර් 323 දැවැන්ත වංචාව අරන් අපි උසාවි යනවා…! – දයාසිරි ජයසේකර…

May 26, 2025 at 2:35 pm | by emanisa.lk

රේගු පරික්ෂාවකින් තොරව නිදහස් කරගත් රතු ලේබල් කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ආණ්ඩුව මෙම බහලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇතැයි පැවැසු මන්ත්‍රීවරයා කෙන්ටේනර් නිදහස් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුළු රේගු සටහන්කරය අධිකරණය මාර්ගයෙන් ලබා ගන්නා බව ද සඳහන් කරයි.

කන්ටෙනර් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමෙන් දැවැන්ත හොරකමක් සිදුව ඇතැයි පැවැසු දයාසිරි ජයසේකර, මෙම කන්ටේනර්වලට හා ඒවායේ බහා තිබූ භාණ්ඩවලට සිදුවූ දේ පිළිබඳව කිසිවෙකු නොදන්නා බව ද ප්‍රකාශ කරයි.

දයාසිරි ජයසේකර හමුවකදී මෙසේ ද පැවැසීය.

“කන්ටේනර් 373 හිදහස් කිරීමෙන් වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ විශාලම වංචාව සිදුවෙලා, රේගු අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ ලිපියක මේ පිළිබඳව පැහැදිලිව තිබෙනවා. බහාලුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්තළ කමිටුව මගින් ජනාධිපතිවරයා සහ කමිටු සභාපති ප්‍රවාහන, මහා මාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ව බහාලුම් නිෂ්කාශන කඩිනම් කිරීමට මේ බහලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙසට දැනුම් දුන් බව එහි දැක්වෙනවා.

මේ සම්බන්ධව විනිවිද පදනම් රේගු දෙපාර්තමේන්තුවෙන් කන්ටේනර් 323 රේගු සටහන්කරයේ පිටපත් ඉල්ලා සිටියා. නමුත් තව ම තොරතුරු ලබා දී නැහැ. කන්ටේනර් නිදහස් කීමේදී රේගු බදු පැහැර හැරීම පිළිබඳව සෙවීමට, හොර බදු ඇල්ලීමට, කන්ටේනර් කඩා විවෘත කර බැලීමට, බදු එළියට ගිය විට පරීක්ෂණ කර සොයා බැලීමට රේගුවට අංශ 7ක් පමණ තියෙනවා. කන්ටේනර් 323 නිදහස් කිරීමේදී සොයා බැලීමට මේ අයට බලය දෙන්න තිබුණත් බිමල් රත්නායක ඇමතිවරයා දුන්නු නියෝගය කිසි විටෙක එය සඳහන් කර නෑ, ඒ නිසා මේ කන්ටේනර් 323 ගියා ගියාමයි වෙච්චි දෙයක් නෑ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රේගු සටහන්කරය අපට අවශ්‍යයි. රේගු සටහන්කරය ඉල්ලූ විට ශ්‍රී ලංකා රේගුව තොරතුරු දැන ගැනීමේ පනතේ 5/ආ/ 01 වගන්තිය අනුව පෞද්ගලිකත්වය මේකෙන් එළියට එන බව සටහන් කර තිබෙනවා. අපිට උවමනා කර තිබෙන්නේ ඒකම තමයි. මේක ගෙනාපු පුද්ගලයා කවුද? මොවුන් මේ භාණ්ඩ යැව්වේ කොහොට ද? මේවායේ තිබුණේ මොනවාද? යැව්වේ මොනවාද? මේවා ලංකාවේ ගොඩ බා තිබෙනවාද? ඒවා ලංකාවේ පාවිච්චියට ගත්තාද කියා සෙවිය හැක්කේ රේගු සටහන්කරයෙන්.

මේ ආණ්ඩුව රේගු සටහන්කරය දෙන්නැතිව මේක වහලා තියෙන්නේ. මේ කන්ටේනර් 323 දැවැන්ත හොරකමක්. මේ හොරකමට අවශ්‍ය කරන අනුමැතිය දුන්නේ බිමල් රත්නායක. රුපියල් ලක්ෂ පහට දයාසිරි ජයසේකරට වංචාකරුවෙක් කියනව නම් බිමල් රත්නායක මේ කන්ටේනර් 323න් දැවැන්ත අපරාධකරුවෙක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුව හැමදාම තියෙන් නෑ. මේ ආණ්ඩුව ඉවරවෙලා එන පළමුවන මොහොතේ මේ කන්ටේනර් 323 ගැන අපි අනිවාර්යෙන් හොයන බව මන්ත්‍රීවරු, ඇමතිවරු සහ මේවාට උදව් කරන රාජ්‍ය නිලධාරීන් මතක තබාගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *