ඔසප්වීම පිළිබඳ සමාජ අපවාද නිසා කාන්තාවන් දුක් විඳිනවා…! – අගමැතිනිය…

May 27, 2025 at 7:49 pm | by emanisa.lk

අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය පිළිබඳ සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බවත්, එයින් ඔවුන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

“ඔසප් දරිද්‍රතාවයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය” යන තේමාවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ අද (27) පැවති “Period Proud 2025” සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“කාන්තාවන්ගේ මාසික ඔසප්වීම අපහාසයට ලක්විය යුතු කරුණක් නොවන බවත්, එය ස්වභාවික සංසිද්ධියක් බවත්, ඔසප් සෞඛ්‍යය සහ ඔසප් දරිද්‍රතාව යනු හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව, ගරුත්වය, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් හා බැඳුණු කාරණයක් බවත් ඇය අවධාරණය කළා ය.

ත්‍රිකුණාමලය, මහනුවර සහ කොළඹ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් අනුව පාසල් සිසුවියන් රැසකට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමැතිවීම හේතුවෙන් ඔවුන් පාසල් යාම මගහැරෙන බව හෙළි වී ඇති බවත්, එසේම බොහෝ කාන්තාවන් අනාරක්ෂිත විකල්පවලට යොමු වන බවත්, එය ඉතාම අවධානම් සහගත තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ පවතින සමාජ අපවාද හේතුවෙන් බොහෝ කාන්තාවන් නිහඬව දුක් විඳින බවත්, මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත්, ඔසප් වීම කිසිවෙකුගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ ගරුත්වයට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා කඩිනමින් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

වයස අවුරුදු 13ට වැඩි සියලුම පාසල් සිසුවියන්ට නොමිලේ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ලබාදීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් අගමැතිනිය, විශේෂයෙන් එහිදී අඩු ආදායම්ලාභී පවුල්වල දැරියන් වෙත ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරන බවත් පේනවා දුන්නාය.

ලබන වසරේ සිට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව සලකා බලමින් සිටින බවත්, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වන සියලුම බදු ඉවත් කරන්නැයි යන ඉල්ලිම් ලැබී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් යම් සාධනීය තත්ත්වයක් ඇති වී ඇතත්, එය සාර්ථක කරගැනීමට පුළුල් ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් බදු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත්, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ සහාය ඒ සඳහා අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ප්‍රංශ තානාපති රේමි ලැම්බෙයාර්ට් මහතා සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නියෝජිතයින්, සමාජක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *