ඒකීය රාජ්‍යයත් සම්බුදු සසුනත් සුරකින්න කැපවෙනවා…! – අගමැති…

August 28, 2023 at 10:27 am | by emanisa.lk

මව්බිමේ ඒකීයභාවයත්, භෞමික අඛණ්ඩතාවත්, ස්වෛරීභාවයත් ස්වාධීනත්වයත් සුරැකීමට කැපවෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරැකීම අරමුණු කරගෙන මහ සඟරුවනේ ආශීර්වාදයෙන්, මහජන එක්සත් පෙරමුණ, ජාතික සංවිධාන හා එක්ව, වාර්ෂිකව පවත්වන අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 29 වසරටත් මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වැනිදා කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස දී සිදුකෙරිණි.

එහිදී ඒකීය රාජ්‍ය සුරකින ප්‍රතිඥාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ පැවසීය,

“අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් දහදියෙන් පෝෂිත මේ පුණ්‍ය භූමියේ පරපුරෙන් පරපුරට රැකදුන් මව්බිමේ ඒකීය රාජ්‍යත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් ස්වාධීනත්වයත් සුරැකීමට කැපවෙමු. වසර දෙදහස් පන්සියයක් ඉක්මවා අපේ මුතුන් මිත්තන් විසින් මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් සුරැක ජාතියට දායාද කරන ලද්දා වූ උතුම් සම්බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ආරක්ෂා කොට චිරස්ථිතිය පිණිස කැපවෙමින් ලොවට දායාද කරමු.

අපේ අනාදිමත් සංස්කෘතිය, ගංගා ඇළ දොළ, වැව් අමුණු, ජල මූලාශ්‍ර, වන, අභය භූමි සතා සිවුපාවා ආදියෙන් සුපෝෂිත සම්පත් ආරක්ෂා කරමු. පුනර්ජනනීය බල ශක්තියෙන් පොහොසත් කොට, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන, අහරින් ස්වයංපෝෂිත, අපට දරණීය වූත් තිරසාර වූත් දායාදයන් උදා කරමින් පරිසර හිතකාමී දේශය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට ඇප කැප වෙමු. කාන්තාවන්ගේ ගෞරවය හා ආරක්ෂාව සලසමින් ආර්ථික නවෝත්පාදනයට පුළුල්ව සහභාගී කර ගනිමු.

තරුණ පරපුර දැනුමෙන් නිපුණතාවයෙන් හා ආකල්පයෙන් පොහොසත් රටක් ගොඩ නැගීමටත්, නව රැකියා හා ජීවන උපාය මාර්ග සහතික කරන අනාගතයක් උදා කිරීමටත් කැපවෙමු. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කරමින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උත්තරීතර පාර්ලිමේන්තුව හා මහජන නියෝජිත ආයතන වලට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් කැප වන අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කරමු.

ජාතික ආර්ථික පුනර්ජීවනයේ ඉදිරි පිම්ම ලෙස ජනතා සහභාගීත්වයෙන් රට පුරාවටම ප්‍රයෝජනයට නොගත් ලක්ෂ සංඛ්‍යාත වතු හා රජයේ ඉඩම් හා මහ සයුර සැලසුම් සහගත ඵලදායි නව අපනයන දක්වා දිවෙන අලුත් වැඩසටහන් ඇති කිරීමට කැප වෙමු. කඩා වැටී යළි ගොඩ නැගෙන වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ගොවි ජනතාව ද, වැඩකරන ජනතාව ද, දේශීය ව්‍යාපාරිකයන්, වියපත් දෙමාපිය ජනතාවද, රණවිරුවන් ද ජීවන බරින් පෙළෙන ජනතාවට සහන හා දියුණුව පිණිස දොරටු විවර කරන ගමින් ගමට නව උත්පාදනයන් ගෙන් ආර්ථික පුනර්ජීවනය සඳහා අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් ද එක්ව කැපවෙමු. සියලු රට වැසියා සමග උතුම් මිනිස් ගුණ ධර්මයෙ හි පිහිටා අධිෂ්ඨානයෙන් යුතුව මෙලෙස ඓතිහාසික කතරගම කිරිවෙහෙර පූජාභූමියේ දී සමස්ත ජාතියට ප්‍රතිඥා දෙමු.”

මෙම අවස්ථාවට දිවයිනේ විවිධ පෙදෙස්වලින් වැඩම කළ මහා සංඝරත්නය, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උප සභාපති, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මඑපෙ ක්‍රියාකාරීන්, අමාත්‍ය මහින්ද අමරවීර , නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, පියල් නිශාන්ත, අනූප පැස්කුවල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග, ගයාෂාන් නවනන්දන, ජාතික සංවිධාන නායකයින් වන වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිස්ට ඇතුළු බෞද්ධ සංවිධාන නායකයින්, විවිධ බහුජන සංවිධාන නියෝජිතයින් හා විශාල ජනතාවක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස