ඒකීයභාවයේ ජාතික සමගියේ කොඩිය අත දරන දිලිත් දිනවමු…! – විමල්…

September 11, 2024 at 8:16 pm | by emanisa.lk

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ “ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය” අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට “ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය” රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ඊයේ(10) සවස කන්තලේ බස් නැවතුම්පොළ අසල දී පැවැති “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” යන සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් “තරුව” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ කන්තලේ ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

ඉහත ජන රැලිය අමතා, සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක ඉන්ජිනේරු මහේෂ් චතුරංග යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

පැත්ත මාරු නොකළ අපේ පැත්ත’

“ජනාධිපතිවරණ කාලයට දේශපාලනඥයන් පක්ෂ මාරු කිරීම හරියට වෙසක් කාලයට ‘බකට් එල්ලනවා’ වගේ. එක තොරණක හිටපු බකට් එක තවත් තොරණක ගිහින් එල්ලෙනවා. කවුරු පැත්ත මාරු කළත් අපි කිසිම විටක පැත්ත මාරු කළේ නැහැ. එදා ත්‍රස්තවාදී යුද්ධය පැවති වෙලාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල ජනීජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත, ජාතිකවාදයේ – දේශමාමකත්වයේ පැත්ත, මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කරන පැත්ත තමයි අපි ගනු ලැබූ පැත්ත. ඒ පැත්ත තමයි අදත් දිලිත් ජයවීරගේ, තරුව ලකුණේ මෙන්ම සර්වජන බලයේ පැත්ත වී ඇත්තේ.

අජිත් දොවාල් ආගමනයෙන් පසු…
දැන් බලන්න, ‘ඩලස් බකට් එක’, ‘දයාසිරි බකට් එක’ අද අනෙක් පැත්තේ ‘බකට් එකක්’ වෙලා. ඒ විදියට කියන්න බැරි තරම් පිරිසක් පැත්ත මාරු කරලා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් තෙපරබාමින් ඉඳලා, ‘අපිත් සජිත්ට’ කියලා හීන් කෙඳිරියක් නඟමින් කිව්වා. ඔවුන් ඒ තීරණය දුන්නේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දියාවේ සිට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළාට පසුවයි. නමුත් අපි ඔබට තරයේ කියනවා, ‘මේ සර්වජන බලය කිසිම විදේශ බලවේගයක අතපෙවීමකට අනුව නැටවෙන රූකඩයක් නොවෙයි’ කියා.

‘ඒකීයභාවය රකින එකම කඳවුර’
ඔබ සැමට තර්ජිත ගම්මානවල ජීවත් වීමට සිදුව තිබූ ත්‍රස්තවාදී යුද්ධය පැවති සමයේ, ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්යය වඩවනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ මහජන ප්‍රචාරක ව්‍යාපාරයට පණ දුන්නේ, එහි නියමුවා වූයේ වෙනත් කිසිවකු නොවෙයි, දිලිත් ජයවීර මැතිතුමායි. ඔහු එදත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පැත්තේ, ජාතික සමගිය පැත්තේ, ත්‍රස්තවාදයට – බෙදුම්වාදයට එරෙහි කඳවුර පැත්තේ සිටගත්තා. අද අනෙක් කිසිදු දේශපාලන කඳවුරක ජාතික සමගියේ කොඩිය, ඒකීයභාවයේ කොඩිය ඇත්තේ නැහැ. ඒ කොඩි රැඳුණු එකම කඳවුර සර්වජන බලය දේශපාලන කඳවුර පමණයි.

පළමුවරට ජනාධිපතිවරණයට උපායමාර්ගික වැඩපිළිවෙළක්!

මේ රට ඇදවැටී ඇති බරපතල ‘ආර්ථික – සමාජීය ප්‍රපාතයෙන්’ ගොඩගන්න අද ‘ගොඩ වෙද්දු’ ගණනාවක් ඉදිරිපත්ව සිටිනවා. ඇත්තෙන්ම ජනතාවට ඇත්තේ හඳුන්නෙත්තිලා කියනවා වගේ ‘යට ඇඳුමේ හිල’ පිළිබඳ ප්‍රශ්නයක් ද? ‘ගොවියාගේ වී අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම, වැඩ කරන ජනතාවට ලැබෙන වැටුපෙන් ජීවත්වීමට නොහැකි තරමට ජීවන වියදම අධික වීම’ වැනි ප්‍රශ්නවලට විසඳුම් දීමයි අපි කළ යුත්තේ. සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා ඔබ හමුවේ තැබූ ‘සර්වජන උපායමාර්ගික සැලැස්මෙන්’ මේ සියලු දැවෙන ප්‍රශ්නවලට අපේ විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් සියලු අපේක්ෂකයන් සාම්ප්‍රදායික පොරොන්දු සහිත මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කළත් දිලිත් ජයවීර මැතිතුමා මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරට ඒ වෙනුවට, උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එමගින් යම් ගැටලුවක් විසඳන ආකාරය, විසඳා අවසන් කරන කාලවකවානුව ආදී සියල්ල හරියටම පවසා තිබෙනවා. බොරු ‘සරුංගල් උඩ අරින’ පූච්චානම් කතා සහිත ගමනක් වෙනුවට අද සිංහල, දෙමළ, මුස්ලිම් මුළුමහත් ජාතිය ඉල්ලා සිටින්නේ ඇත්ත දේශපාලන ප්‍රතිපත්ති, උපායමාර්ග මත පිහිටා ඉදිරියට යන ගමනක්.

‘ඈමරිකාව බංග්ලාදේශයට කළ අපරාධය’

දැන් බලන්න, බංග්ලාදේශයට සිදුව ඇති නස්පැත්තිය. පසුගිය දිනවල බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා මැතිනිය පන්නා දැමීමට ඒ රටේ පොලු මුගුරු අතින් ගත්තු ‘කොල්ලෝ – කුරුට්ටන්ට’ හැකි වුණා. එතුමිය ඉන්දියාවට පලා ගිහිල්ලා පසුව පැවසුවා, ‘බෙංගාල බොක්කේ තිබෙන වර්ග කිලෝමීටර අටක වර්ග ප්‍රමාණයෙන් යුතු දූපත ඇමරිකාව මගෙන් ඉල්ලුවා. මම ඒක දෙන්න බැහැ කිව්වා. ඒ නිසා මාව මේ ඉරණමට ලක් කළා’ කියා. එතුමිය තම පාලන කාලයේ බංග්ලාදේශය තුළ අන්තවාදී සංවිධාන තහනම් කළා. දැන් බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පිහිටුවනු ලැබූ අන්තර්වාර පාලනය තුළ ඒ අන්තවාදී සංවිධාන ද නියෝජනය වෙනවා. අද ඒ අන්තවාදී සංවිධාන නීතිය අතට ගෙන බංග්ලාදේශයේ සිටින හින්දු ජනතාව ගහලා, මරලා, පුළුස්සා දමන තැනට නීතිය වල් වැදී තිබෙනවා. මේ අන්තර්වාර පාලකයන් බංග්ලාදේශයේ ජාතික කොඩිය, ජාතික ගීතය වෙනස් කරන්න කටයුතු කරද්දි රටම අරාජික වෙලා තෙල් පෝලිම් හැදෙමින් තිබෙනවා. ඇඟලුම් කම්හල් සියයට අසූවක් පමණ වැහෙමින් තිබෙනවා. ඒවා හිමි ආයෝජකයන් බංග්ලාදේශය හැර යනවා. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය තිබූ බංග්ලාදේශය අද ඇමරිකා එක්සත් ජනපදය විසින් හතරගාතෙන් ඇදවට්ටවා තිබෙන්නේ එහෙමයි.

බටහිර දේශපාලන රූකඩ පරදවමු!

මෙතැනත් එහෙමයි. බටහිර බලවතුන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුළු සියලු ආර්ථික මර්මස්ථානවලට පමණක් නොවෙයි අපේ මුළු රටටම කෙළ හලනවා. ඒ බටහිර බලවතුන් අද මේ ජනාධිපතිවරණයේදී තමන් ඒ කෙළ හලන අරමුණ ඉටුකර දීමට එකඟ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සල්ලි පොම්ප කරනවා. බටහිර බලවතුන්ගේ වුවමනාව ඉටු කිරීමට සූදානම් දේශපාලන බලවේග අද දම්පාටින්, කොළ පාටින්, විවිධ පාටවලින් ඔබ හමුවට එනවා. ඒ නිසා එදා කොටි ත්‍රස්තවාදය පැරදවීමේ කඳවුරෙහි සිට ගත් ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිනවා, ‘බටහිර දේශපාලන රූකඩවලට රැවටිලා මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත් කරගන්න එපා!’ කියලා.

‘තරුව’ දිනවීමට පෙළගැසෙමු!

දේශපාලන කල්ලි – කණ්ඩායම් තුනහතරකට සල්ලි පොම්ප කළාම ඒ සල්ලි වියදම් කරලා ප්‍රතිරූප හදාගත්තු ඒ කල්ලිවල අපේක්ෂකයන් අතුරින් කවරෙකු දිනුවත් බටහිර බලවතුන් දිනුම්. අවසානයේ දිනන කවරෙකු ලවා හෝ ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ ඉරණම අත්කර දීමට ඔවුන්ට පුළුවන්. ඒ නිසා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අම්මලා, තාත්තලා, සහෝදර – සහෝදරියන් අධිෂ්ඨාන කර ගන්න ඕනේ, ‘මොන පක්ෂයෙන්, මොන පාටින් ආවත් මේ මව්බිමට හතුරු කල්ලිවලට හුස්ම ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. 21 වැනිදාට තරුව ලකුණට, සර්වජන බලයට, දිලිත් ජයවිරට අපේ ඡන්දය දීලා ඒ මව්බිමට සතුරු මෙහෙයුම පරදවනවා’ කියලා. ‘තරුව’ දිනවීමට පෙළගැසෙමු! ඒ වෙනුවෙන් කැප වෙමු!”

මාධ්‍ය අංශය,
සර්වජන බලය
2024-09-11

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස