උද්ඝෝෂණ පෙළපාළිවලින් රට යළිත් වළපල්ලට..! සංචාරක කර්මාන්තයෙන් විතරක් ඩොලර් බිලියනයක් අහිමි වෙයි…!

April 22, 2022 at 8:16 am | by emanisa.lk

ගාලු මුවදොර ඇතුළුව රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අමෙරිකන් ඩොලර් බිලියනයකට (ඩොලර් මිලියන 1,000) අධික ආදායමක් අහිමි වී තිබේ.

මෑත කාලයේ දෛනික සංචාරක පැමිණීම 4,000ක් පමණ වූ නමුත් මේ වන විට දිනකට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,000ක් දක්වා පහත වැටී තිබෙන බව ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ හිටපු සභාපති සනත් උක්වත්ත ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ තරු පන්තියේ හෝටල් රැසක් ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන පිහිටා තිබෙන බව පෙන්වා දෙන හෙතෙම එහි පැවැත්වෙන විරෝධතා හේතුවෙන් සංචාරක ගමනාගමනයට මහත්සේ බාධා එල්ල වී තිබෙන බව ද එවැනි තත්ත්වයක් තුළ එම හෝටල්වල ආදායම සියයට 60කින් පමණ පහත වැටී තිබෙන බව ද අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවේ පවතින අවාසනාවන්ත තත්ත්වය තුළ ගාලු මුවදොර අවට හෝටල්වල නවාතැන් ගෙන සිටි විදෙස් සංචාරකයන් වෙනත් ප්‍රදේශයන්හි හෝටල් වෙත සංක්‍රමණය වීමට හෝ ඔවුන්ගේ සංචාරය අවලංගු කර සිය රටවල් වෙත හෝ මාලදිවයින වැනි රටවල් වෙත ගමන් කිරීමට පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන සනත් උක්වත්ත, මෙවැනි විරෝධතා හේතුවෙන් සංචාරක කර්මාන්තයට අහිමි වී තිබෙන ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද කියා සිටී.

මේ වසරේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් අපේක්ෂා කළ ද මෙවැනි තත්ත්වයක් තුළ එම ඉලක්කය කරා ගමන් කිරීම අපහසු කටයුත්තක් බව ද පවතින තත්ත්වය තුළ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා වෙනුවට වෙනත් ගමනාන්ත කරා යොමුවී තිබෙන බව ද සඳහන් කරයි.

පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේදී විදෙස් සංචාරකයන් වෙනුවෙන් රජය ගනු ලැබූ වැඩපිළිවෙළ හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, මේ වසරේ මාර්තු මාසයේදී පමණක් 100,000ට එහා ගිය විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි නමුත් මේ වන විට රටේ පවතින තත්ත්වය තුළ සංචාරක පැමිණීම විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ද පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *