ඊළඟ පරපුර ත්‍රස්තවාදයට දක්කන්න එපා… තිලීපන් කොටි පිළිරුව වහා ඉවත් කරනු…! – අරුණ් සිද්ධාර්ථ්

September 18, 2026 at 10:09 am | by emanisa.lk

යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකරන ලද කොටි නායක තිලීපන්ගේ ප්‍රතිමාව වහා ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් නොඑසේ නම් දෙමළ මුස්ලිම් සිංහල ජනතාව එකතු වී එම පිළිමය ඉවත් කරන බවත් අවධාරණය කරමින් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුණ් සිද්ධාර්ථ් නිවේදනයක් නිකුත් කරයි.

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් රජයෙන් ඉල්ලා සිටී.

රජය විසින් එම ප්‍රතිමාව ඉවත් කිරීමට අපොහොසත් වුවහොත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පීඩාවට පත් දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව සංවිධානය කර තමන් විසින්ම ප්‍රතිමාව ඉවත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එවැනි ක්‍රියාවක් සිදු කිරීමේදී අවශ්‍ය වුවහොත් සිරගත වීමට වුවද තමන් සූදානම් බව ඔහු පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ අද ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මාධ්‍ය අමතමින් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය: “මේ මොහොත වන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පවතී. එසේ තිබියදීත්, ඇතැම් පුද්ගලයින් විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන තිලීපන්ගේ ප්‍රතිමාවක් යාපනයේ නල්ලූර්හි පොදු ස්ථානයක ඉදිකර තිබෙනවා.

‘බිඳුනු තල්රුක’ (The Broken Palmyra) කෘතියට අනුව, තිලීපන් යාපනයේ එල්.ටී.ටී.ඊ දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කරන සමයේ, 1987 ජුලි 2 වැනිදා යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේදී දෙමළ තරුණයන් ඝාතනය කර විදුලි කණුවක ගැටගැසීමේ සිදුවීමට පෞද්ගලිකව සම්බන්ධ වී තිබෙනවා.’බිඳුනු තල්රුක’ කෘතිය ඔහු ගැන මෙසේ විස්තර කරනවා:

“තිලීපන් හදිසියේ අවිහිංසාවාදයට මාරු වී සිටියේ නැහැ. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායකයා ලෙස ඔහු ප්‍රචණ්ඩකාරී පසුබිමේ ප්‍රබල කොටස්කරුවෙකු වුණා.” මෙම කරුණු ‘බිඳුනු තල්රුක’ (The Broken Palmyra) කෘතියේ 303, 304 සහ 306 පිටුවල ලේඛනගත කර තිබෙනවා.

‘බිඳුනු තල්රුක’ කෘතිය මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ (යාපනය) සංවිධානයේ සාමාජිකයින් විසින් රචනා කරන ලද්දක් වන අතර, ඊට දිවයින පුරා සිටින විශ්වවිද්‍යාල විද්වතුන් 300 කට අධික පිරිසකගේ දායකත්වය ලැබී තිබෙනවා. ඊට දායක වූවන්ගෙන් කිහිප දෙනෙක්ම මානව හිමිකම් ආරක්ෂකයින් සඳහා වන මාටින් එනල්ස් සම්මානය (Martin Ennals Award) ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ මහාචාර්යවරුන් වනවා. මෙම ප්‍රකාශනය මගින් තිලීපන්ට එරෙහිව ඇති ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳ චෝදනා ලේඛනගත කර ඇති අතර ඊට අදාළ සාක්ෂි ද සපයනවා.

එබැවින් පැන නගින ප්‍රශ්නය නම්: ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මකව පවතින විට, තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙකු අනුස්මරණය කරන ප්‍රතිමාවක් ප්‍රසිද්ධ ස්ථානයක මෙතරම් විවෘතව ඉදිකරන්නේ කෙසේද යන්නයි. ප්‍රතිමාව ඉදිකිරීම පමණක් නොව, එල්.ටී.ටී.ඊ ය සහ එහි ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවන ගීත ද එම ස්ථානයේ වාදනය කර ඇති බව වාර්තා වනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට වගකිවයුත්තන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අදාළ විධිවිධාන යටතේ විමර්ශනය කර, සුදුසු නීතිමය පියවර ගෙන, වගකිවයුත්තන් අධිකරණය හමුවට පමුණුවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

තිලීපන්, කුට්ටිමනි සහ තංගතුරෙයි වැනි පුද්ගලයින්ගේ ප්‍රතිමා ඉදිකරනවා වෙනුවට, මේ රටට සහ සමාජයට සේවය කළ විද්වතුන් සහ බුද්ධිමතුන් ඇගයීම සඳහා ප්‍රතිමා ඉදිකළ යුතුයි. යාපනයේදී අප ගෞරව කළ යුත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය තුරෙයිරාජා මෙන්ම මහාචාර්ය රාජිනි තිරණගම, මහාචාර්ය කෝපාලසිංහම් ශ්‍රීධරන්, මහාචාර්ය රාජන් හූල් සහ මහාචාර්ය දයා සෝමසුන්දරම් වැනි විද්වතුන්ට සහ බුද්ධිමතුන්ටයි.

අපේ සමාජය දැනුම අගය කරන සමාජයක් විය යුතු නම්, අප විසින් සැමරිය යුත්තේ අපේ සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් කැපවූ විද්වතුන් සහ බුද්ධිමතුන්වයි. ඔවුන් අපේ දරුවන්ගේ ආදර්ශමත් චරිත බවට පත් කළ යුතුයි.

ලොව පුරා සමාජයන්, තමන්ගේ ප්‍රජාවන්ට දායකත්වය ලබාදුන් විද්වතුන්ට, බුද්ධිමතුන්ට සහ පුද්ගලයින්ට ගෞරව කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් මෙහිදී ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින්ව ප්‍රතිමා මගින් සමරන විට, අනාගත පරපුරට ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට උගන්වනු ඇතැයි යන අවදානමක් පවතිනවා.

සමාජයේ මනස තුළ වල් පැල සිටුවමින් ඔවුන් අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඔබ සිටුවන්නේ වල් පැල නම්, අනාගත පරපුරට උරුම වන්නේද වල් පැලයි.

අවසාන වශයෙන්, යුද්ධයක ජයග්‍රාහකයින් නොමැති බවත්, අවසානයේදී සියලු දෙනාම පරාජයට පත්වන බවත් තම දරුවන්ට කියා දෙන ලෙස මම දෙමළ දෙමාපියන්ගෙන් සහ අපේ ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. යුද්ධයේ වීරයන් නොමැති බවත්, යුද්ධයේ කිසිදු කීර්තියක් නොමැති බවත් ඔබේ දරුවන්ට උගන්වන්න.

යුද්ධ වළක්වා ගැනීමේ ගෞරවයක් ඇති බවත්, යුද්ධ වළක්වමින් මිනිස් ජීවිත ආරක්ෂා කරන පුද්ගලයින් වීරයන් ලෙස සිහිපත් කර ගෞරව කළ යුතු බවත් ඔවුන්ට උගන්වන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස