ඉසුරුපාය අසල විරෝධතාවේ දී පොලිසියේ 03ක් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක්…! – පොලිසිය…

December 11, 2024 at 10:31 am | by emanisa.lk

සල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බව තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10) දැනුම් දී තිබේ.

එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.

එම පුද්ගලයා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර මහත්මිය, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *