ඉන්දියාව ප්‍රතික්ෂේප කළොත් රටට අනාගතයක් නෑ… අදානි නාවොත් ලෝකෙට යන්නේ වැරදි පණිවිඩයක්…! – රනිල්…

March 26, 2025 at 9:16 am | by emanisa.lk

මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් අදානි වැනි ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කළයුතු බවත් ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව තව දුරටත් දුප්පත් තත්ත්වයේ සිටීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බලශක්ති ගිවිසුම් නැවත සංශෝධනය කිරීමට, කොන්දේසි මාරු කිරීමට කටයුතු කිරීම මගින් රටට ආයෝජකයන් නොපැමිණීමේ තත්ත්වයක් උද්ගත වන බව ද ඔහු සඳහන් කරයි. මෙරට අවදානම් තත්ත්වය තවමත් පවතින බැවින් ආයෝජකයන් නිපදවන බලශක්තියට වැඩිපුර ගෙවීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඉන්දියානු අගමැතිවරයා සමග තමා කළ සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ ඉන්දියාවට අවශ්‍යතාව ඇත්තේ ලංකාවෙන් විදුලිය මිල දී ගැනීම බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙය නව විදේශ ආයෝජන ලබාගත හැකි මාර්ගයක් බවද ඔහු ප්‍රකාශ කරයි.

මෙරට ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ආර්ථිකයේ වර්ධනයක් තිබිය යුතු බවත්, ඊට ප්‍රාග්ධනය සහ තාක්ෂණය තිබිය යුතු බවත්, අප සතුව එය නොමැති නිසා ඒවා වෙනත් රටවලින් ලබාගත යුතු බවත්, චීනය, වියට්නාමය ආදී රටවල් ද එය සිදුකළ බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” නමැති කෘතිය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේ ඊයේ (25) පස්වරුවේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *