ඉදිකිරීම් ක්ෂේත්‍රයත් ඈවරයි… ඇමැති ඇසට වැලි ගසා ලේකම් කුමන්ත්‍රණයක… ජාවාරම්කාර මහාචාරියත් හවුල්…!

September 16, 2024 at 4:11 pm | by emanisa.lk

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා, තම ඇමතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කළ ගොඩනැගිලි නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා වෙනම වරළත් ආයතනයක් පිහිටුවීමේ පාර්ලිමේන්තු පනත කෙසේ හෝ සම්මත කරවා ගැනීමට දැඩි උත්සාහයක නියැලෙන බවට තොරතුරු වාර්තා වේ.

වරලත් ඉංජිනේරු ආයතනයක් ව්‍යාපාරිකයන් අතට පත්වීම පවතින නියාමනය ක්‍රමවේදයන් කඩාවැටීමකි. එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදුවිය හැකි දේශපාලන පෙරළියකින් අයුතු වාසි ලබා ගැනීමේ කූට අරමුණින්, අනෙකුත් අත්‍යවශ්‍ය රාජකාරි පසෙක දමා, සම්මත පටිපාටියෙන් බැහැරව මේ පනත ඉදිරියට තල්ලු කිරීමට ලේකම්වරයා කටයුතු කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග දක්වා සිටී.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව යටතේ දැනටමත් ගැටලුවකින් තොරව පාලනය වන ගොඩනැගිලි සේවා ඉංජිනේරු ක්ෂේත්‍රය අවුල් කරවීමේ මෙම කුමන්ත්‍රණයට, මෙම ලේකම්වරයා සමග එක්ව කටයුතු කරන්නේ රජයේ ඉහල පුටුවකට මාන බලමින් සිටින දේශපාලන පදනමකින් යුතු ජාවාරම්කාර මහාචාර්යවරයෙකි.

මේ දෙපළගේ ප්‍රයත්නය වන්නේ දැනට ගොඩනැගිලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් තමන් එකිනෙක අතරම ව්‍යාපෘති බෙදාගැනීම සඳහා අටවාගත් ‘ශ්‍රී ලංකා ගොඩනැගිලි ඉංජිනේරු සංගමය’ නම් වූ ව්‍යාපාරික සංසදය පාර්ලිමේන්තු පනතක් හරහා ජාතික මට්ටමේ නිල ආයතනයක් බවට පත් කර ගැනීමටයි. සමාජයට තාක්ෂණික වෘත්තීය සංගමයක් ලෙස හුවා දැක්වුවත්, මෙම සංගමයේ සාමාජිකත්වයේ බහුතරය ගොඩනැගිලි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් බව දැන දැනම, මේ පනතට ඉඩ කඩ විවර කරදීමෙන් මෙරට ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රවලට කඩාවැටීමක් සිදුවන බව එම ක්ෂේත්‍රවල කටයුතු කරන තතු දත්තෝ පවසති.

අදාළ සියලු රාජ්‍ය හා වෘත්තීය සංවිධානවලින් එල්ල වූ සාධාරණ විරෝධය හමුවේ, මෙම කෙටුම්පත ගරු ඇමතිතුමා ඉවත දමා තිබිය දී, ලේකම්වරයා විසින් නාගරික අධිකාරියේ නීති නිලධාරිනියකට විශේෂ පැවරුමක් ලෙස මෙම කටයුත්ත බාර දී ඇත්තේ, අමාත්‍යංශ කාර්යය මණ්ඩලය මේ අක්‍රමිකතාවට දායක වීමට නොකැමැත්ත පළකර ඇති නිසා බව සැලයි.

රටේ සියලුම අක්‍රමිකතාවල වගකීම ජරාජීර්ණ දේශපාලනයට බැර කෙරන නමුත්, ඊට නොදෙවැනි දුෂිත නිලධාරීන් සිය ජාතික වගකීම තුට්ටුවකට මායිම් නොකර ජාවාරම්කරුවන් සමග එක්වී මෙවැනි අකටයුතු කම් සිදුකරමින් සමාජයට මහත් හානියක් ගෙනඑනු ලබන බව රජයේ සේවක සේවිකාවෝ අදහස් පළ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *