ඇලෝසියස්ගේ සමාගමට සහනයක්…. නැවත අරක්කු පෙරන්නැයි ඇරයුම්….!

December 28, 2024 at 1:01 pm | by emanisa.lk

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවූ, ප්‍රකට ව්‍යාපරික අර්ජුන් ඇලෝසියස්ට හිමිකාරිත්වය ඇති WM මෙන්ඩිස් සමාගමේ හිඟ බදු අය කරගැනීමටත් නැවත බලපත්‍රය එම සමාගමට නැවත දීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා විසින් එම සමාගමට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, දැනට ගෙවීමට ඇති රුපියල් බිලියන 5.7ක මුදලෙන් සියයට පනහක් වන බිලියන තුනක් ගෙවුවහොත් බලපත්‍රය ලබා දීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කර ඇත.

මෙන්ඩිස් සමාගමට අයත් මොරගොල්ල හා වැලිසර පිහිටි නිෂ්පාදන ආයතන පවත්වාගෙන යාමට එහිදී අවසර හිමිවෙන අතර සමාගම පවත්වාගෙන යාමේදී සාමාන්‍ය පරිදි බදු මුදල් ගෙවීය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. හිඟ බදු මුදල් ගෙවීම සඳහා සමාගම විසින් මාස්පතා ගෙවීම් කරන පරිදි ගෙවීම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවට දන්වා ඇත.

එම කොන්දේසිවලට සමාගම කැමැති නම් මාසයක කාලයක් සඳහා බලපත්‍රය ලබා දීමටත් ඉන් අනතුරුව මාස් පතා බලපත්‍රය අලුත් කිරීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද මෙන්ඩිස් සමාගම මෙතෙක් මෙම යෝජනාවලට එකඟත්වය ප්‍රකාශ කර නැත.

මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව සියයට 3 ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා සිට මෙම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටවනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *