පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුව නොදැනුවත්වම නාමල් රාජපක්ෂව විපක්ෂයේ ප්රධාන චරිතය ලෙස ඔසවා තබා ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්රකාශ කරයි.
මෙවැනි අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් අදාළ දේශපාලනඥයාට ජනතා අනුකම්පාව සහ ප්රචාරක වාසි ගෙන දෙන ලොතරැයි දිනුමක් බවද ආචාර්ය දේවසිරි පෙන්වා දෙයි. 2015 යහපාලන ආණ්ඩු සමයේදී ද සිදු වූයේ මෙවැනිම ක්රියාවලියක් බව සිහිපත් කරයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මාලිමා ආණ්ඩුවේ ක්ෂණික කඩාවැටීමකට හෝ අවසානයකට හේතු වනු ඇතැයි යන මතය තමන් ප්රතික්ෂේප කරන බව හෙතෙම අවධාරණය කරයි. පසුගිය මැතිවරණ තුනකදීම ජනතාව මාලිමාව වෙත ඡන්දය භාවිත කිරීම හරහා එය ඡන්දදායකයාගේ දේශපාලන පුරුද්දක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කරයි.
කූඩැල්ලෙකු එක් තැනක් අතහරින්නේ තවත් තැනක් තදින් අල්ලා ගත් පසුව පමණක් සේම, පවතින ආණ්ඩුව පරදවා විශ්වාසය තැබිය හැකි ශක්තිමත්, ඒකාබද්ධ විකල්ප බලවේගයක් විපක්ෂය තුළින් ගොඩනැගෙන තුරු ඡන්දදායකයා ආණ්ඩුවෙන් පහසුවෙන් ඉවතට නොයන බව ද සඳහන් කරයි.
ආණ්ඩුවේ පැවැත්ම හෝ අවසානය තීරණය වන්නේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් මත නොව, මහජනතාවගේ බිම් මට්ටමේ ආර්ථික අපේක්ෂාවන් කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට ඇති හැකියාව මත බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැඩි දුරටත් අවධාරණය කරයි.
සිය Youtube නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසයි.