ආණ්ඩුවේ වැඩ නිසා රෙද්දක් ඇඳගෙන පාරේ යන්න බෑ…! ආණ්ඩුව අතෑරලා අපි 69 ලක්ෂෙ ජනමතය එක්ක හිට ගන්නවා…! – නිමල් පියතිස්ස…

November 8, 2021 at 7:41 am | by emanisa.lk

මේ වන විටත් ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් වශයෙන් තමන්ට රෙදි ඇඳගෙන පාරේ යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර හෙට අනිද්දා වන විට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැස යා නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි.

“ඉඩමේ ඉන්න ඕනෙ, කුඹුරේ ඉන්න ඕනෙ ගොවියා අද මහ පාරට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් අපි දන්නවා අපේ ම ආණ්ඩුවේ සමහර අය ලේබල් එකක් ගහනවා මේ ජේවීපී එකේ අයයි, සමගි ජන බලවේගයේ අයයි, යූ එන්පී එකේ අයයි තමයි මේක පිටිපස්සෙ ඉන්නෙ කියලා. මං හිතනවා මම නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදියට සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා.

අද අපට සමාජයට රෙදි ඇඳගෙන යන්න බැරි තැනකට, අපිව එළවලා දමන තැනකට, උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට ආණ්ඩුවේ වැඩසටහන් විවෘත කරන්න යන වෙලාවකදී අපිව ගොවියෝ එකතුවෙලා පළවාහරින තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා.

එනිසා අපේ ආණ්ඩුවේ නායකයින්ට අපි කියනවා හෙට අනිද්දා වෙනකොට අපි කාටවත් පාරෙ බැහැලා යන්න පුළුවන්කමක් ලැබෙන එකක් නෑ. තනි තින්දු තීරණ ක්‍රියාත්මක වෙනවා, සමහර තීන්දු පාරාවළලු වෙනවා, ආණ්ඩුව 69 ලක්ෂයකගේ ජනමතයට පිටුපාලා යන ගමනක් ආරම්භ කරලා තියෙනවා නම් මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු බලවේග නොසලකා හරිනවා නම් අපිට සිද්ධ වෙනවා ආණ්ඩුව ගැන හිතනවාට වඩා 69 ලක්ෂයකගේ ජනමතය ගැන හිතන්න. අපට සිද්ධ වෙනවා ඉදිරියේදී ඊට අනුකූල ක්‍රියාමාර්ග විටින් විට ගන්න.”

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මේ බව පැවසුවේ ඊයේ (07) නුවරඑළිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස