ආණ්ඩුවේ මන්ත්‍රීවරු සිය ආරක්ෂාවට ගිනි අවි ඉල්ලති…!

May 16, 2022 at 12:41 pm | by emanisa.lk

සිය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති.
ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් පෙරේදා (14) මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මැයි 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබුණි.

මන්ත්‍රිවරු අනූවක් පමණ ඊට සහභාගී වූ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊට එක්ව සිටියේ නැත. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුද එක්නොවූ මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා එක්ව සිටියේය. තව ද පොලිස්පතිවරයා ද ඊට කැඳවා තිබුණි.

මෙම සාකච්ඡාවට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මන්ත්‍රිවරුද ඊට එක්වූයේ විවිධ ආරක්ෂක උපක්‍රම භාවිත කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් දරන මන්ත්‍රිවරයකු මරුටි වර්ගයේ කාර් රථයකින් රැස්වීමට සහභාගි වූයේය. තවත් මන්ත්‍රිවරු වෑන් රථවලින් පැමිණියේය. මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ සුඛෝපභෝගි වාහනවලින් මන්ත්‍රිවරුන්ගේ පැමිණීම අවම වීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *