අරගල සමයේ විනාශ කළ මැති ඇමති දේපළ වන්දි යළි ඉල්ලා පෙත්සමක්…!

July 18, 2025 at 9:04 am | by emanisa.lk

2022 වසරේ ගෝඨාගෝහෝම් අරගලය සමග ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා නිසා නිවාස හා දේපොළ ගිනිබත්වූ පසුගිය රජයේ මැති ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගෙන තිබෙන වන්දි මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියෝග කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ කැඳවා තිබිණි.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ 2022 වසරේ මැයි මස 09 වනදා අරගල භූමියට පහර දීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපොළ විනාශ වූ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි ලෙස රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා තිබෙන බව ඉකුත් පෙබරවාරි මස 05 වනදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවය.

මෙහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතාවකට ලක්වී ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු, ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බවද ඔහු සඳහන් කරයි.

නිසි නීතිමය පටිපාටියට පරිබාහිරව මෙම ගෙවීම් සිදුකර ඇති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

එබැවින් අනිතික ආකාරයෙන් ගෙවා තිබෙන වන්දි යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් දේපොළ විනාශ වූ මැති ඇමතිවරුන්ගේ දේපළ වෙනුවෙන් නිසි තක්සේරුවක් සිදුකොට නීත්‍යානුකූල ආකාරයෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *