අරගලය පාරාවළල්ලක් වෙයි.. 80ක් රටින් පනී… 200ක් පෝලිමේ…! මෙල්වා ආනන්දරාජා අප්‍රිකාවේ සැඟ වේ…! අල්ලන්න ඉන්ටර්පෝල් සහාය…!

September 3, 2022 at 1:31 pm | by emanisa.lk

අරගලය නමින් විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වන විට විවිධ ක්‍රම මගින් විදේශයන්ට පළා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගව හෙළි කරයි.

විදේශයන්ට පළා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධාන ද සම්බන්ධ කරගෙන ඇත.

සමහරුන් විදෙස් රටවලට පළා ගොස් ඇත්තේ විවිධ තර්ජන ගර්ජන ඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් යැයි දැනගන්නට ඇත. ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළු වී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ඔහු මෙසේ විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගය. මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතා ඇතැයිද වාර්තා වේ.

ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවෙසට ගිනි තබා විනාශ කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *