අයියා ගොඩනැඟූ මහා රාජ්‍යය මල්ලි පාවා දුන්නා….! – මැදගොඩ අභයතිස්ස හිමි…

January 26, 2021 at 11:03 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය ඉන්දියානු ආක්‍රමණයේම කොටසක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. එහිම රාමායණය ඇසුරෙන් මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ද සිදු කළේය.

“මේක ඉන්දියානු ආක්‍රමණයේ තව එක කොටසක්. අවුරුදු දහස් ගණනක් ස්වෛරීව පැවතුණු මේ රාජ්‍යය ක්‍රමානුකූලව ඉන්දියාවේ තවත් එක ප්‍රාන්තයකට අරගෙන එන වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙනවා. මෝදි අග්‍රාමාත්‍යතුමා යම් විදියකින් මේ වරායෙන් ජයග්‍රහණය කළොත් අර රාම රාවණා කතාවෙ රාවණා පරද්දලා රාම ජයගන්නවානෙ, ඒ සිද්ධිය වගේ සිද්ධියක් වෙනවා. ඒ කියන්නෙ හෙට දවසේ ලංකාව දෙවැනි වතාවටත් භාරතය විසින් පරාජයට පත් කරනවා.

ඉන්දියාව මොනම හේතුවක් නිසාවත් අපේ රට දියුණු වෙනවාට සෞභාග්‍ය කරා යනවාට කැමති නැහැ. අපි ඒ සෞභාග්‍ය අත්පත් කරගන්නකොට තමයි රාම එන්නේ. රාම එන්න කලින් එවනවානෙ හනුමන්තා. හනුමන්තා කියන්නෙ ගිනි තියන්න එන එක්කෙනෙක්නෙ. වල්ගෙ ගිනි තියාගෙන රට වටේ ගිනි තිබ්බා කියලානෙ කියන්නෙ. වල්ගෙට ගිනි තියාගෙන වඳුරෙක්ට පුළුවන්ද කොච්චරක් රටවටේ ගිනි තියන්න?

ඒ කියන්නෙ ඇතුළෙ කතාව තමයි ඔත්තුකාරයො ලංකාවට එනවා, ඇවිල්ලා තැන තැන ගිනි තියනවා. එහෙම ගිනි තියතියා ගිහිල්ලා අන්තිමට ලංකාව අවුල් තත්වයකට පත්වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ මේ ගින්නෙ ප්‍රබලම තැනට එනවා, අයියයි මල්ලියි තරහා වෙනවා. අයියයි මල්ලියි කියන්නෙ කවුද, රාවණායි විභීෂණයි. අන්තිමට විභීෂණ, ඒ කියන්නෙ මල්ලි පාවා දෙනවා. අන්තිමට අර අයියා ගොඩනඟපු මහා රාජ්‍ය විනාශවෙලා ගිහිල්ලා අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වෙනවා තමන්ගෙ රාජ්‍යයත් නැතිකරලා ඒ තරම් මේ රට පාවාදුන්නු කෙනෙක් බවට පත්වෙන්න.

මේක රාම රාවණා කතාවෙ තියෙන සැබෑ කතන්දරේ. එතකොට අද ඉන්දියාව එන්නේ මේකටමයි. අපි මේ ආක්‍රමණයට අහුවෙලා ඉන්නවා කියන එක දැනගන්න ඕනෙ” යනුවෙනුයි එහිමියන් සඳහන් කළහ.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (25) වරාය වෘත්තීය සමිති නියෝජිතයින් එහිමි හමුවීම සඳහා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙණට පැමිණි අවස්ථාවේදී ඔවුන් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස