අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුණ චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්. ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුණට මිනී මරන්න ගියේ නෑ.
දැන් මාකඳුරේ මදූෂ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහය මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ල නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ. අසරණ වුණ ආර්ටිස්ට්ලගේ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්දා. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා.
නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොඳ කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතා කළාම ගිහින් සිංදු කියනවා. අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය. මං අමල්ට කැමති මේ නොදැමුණු බවත් එක්කයි. ඒ හඬ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනී මැරුම්වලට පාතාල ගනුදෙනුවලට වැරදිකාර මදූෂ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?
චින්තන ධර්මදාස