ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ වරදට සෞදි අධිකරණය මරණ දඬුවම පනවා ඇති ශිවරාජා අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම සඳහා රජය විශාල උත්සාහයක් ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
“අපේ තානාපති කාර්යාලය මැදිහත් වෙලා, අභියාචනා කරලා, නීතිඥවරුන් සම්බන්ධ කරගෙන එම දඬුවම ලිහිල් කරගන්න විශාල උත්සාහයක් ගත්තා තවමත් ගනිමින් සිටිනවා.
නමුත් දැන් තත්ත්වය ඊට වඩා භයානක අඩියකට පැමිණ තිබෙනවා. එම දඬුවම ලිහිල් වෙනවා වෙනුවට ඊටත් වඩා බරපතළ කරමින් ඔහුට මරණ දඬුවම ලබාදීමට අධිකරණය සූදානම් වන බවට තොරතුරු ලැබී තියෙනවා.”
මෙම අවදානම් සහගත වාතාවරණය හමුවේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහනදායී විසඳුමක් ලබා ගැනීමට උපරිම පියවර ගනිමින් සිටින බවද ඇමතිවරයා අවධාරණය කරයි.