අනෙකාගේ මතයට ගරු කරන්න… ජයග්‍රහණය සාමකාමීව සමරන්න..! – අනුර…

September 21, 2024 at 5:38 pm | by emanisa.lk

අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බවත් ජයග්‍රහණය සාමකාමිව සමරන ලෙසත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

“ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවි. කාලයක් තිස්සේ ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු හදන්න, ආණ්ඩු මාරු කරන්න, නායකයෝ මාරු කරන්න ඡන්ද පවත්වල තියෙනවා.

මම හිතනවා මේ මැතිවරණය තමයි, ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍ය වන මැතිවරණය. ජනතාව ඉතාම ප්‍රබෝධවත්ව ඡන්දය පාවිච්චි කරමින් සිටිනවා. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලු දෙනාම සාමකාමී කටයුතු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක වැඩ කරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය පාවිච්චි කරන්න අයිතිය තිබෙනවා.

ඒ අයිතිය අපි දිගටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ජයග්‍රහණයෙන් පසුව කිසිම ප්‍රචණ්ඩත්වයක්,ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවිය යුතුයි. අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැමකෙනාගේම මතයන්ට ගරු කරන, හිංසාවට පත්වීමේ කාරණයක් නොවිය යුතුයි. ඒ නිසා එම මැතිවරණ ජයග්‍රහණය ඉතා සාමකාමිව, ප්‍රචණ්ඩත්වයෙන් තොරව, කිසිදු ගැටුම්කාරී තත්ත්වයකින් තොරව සමරන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලනවා.

වත්මන් ජනාධිපතිවරයා සාමකාමීව බලය හුවමාරු කරගැනීමට කටයුතු කරයි. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.”

අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ පංචිකාවත්ත සයිකොජි පෙර පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *