“අනුර ගෝ ගම” හදන්නේ අපි…. සෙවනගල උක් ගොවියෝ මහ පාරට…!

July 28, 2025 at 11:47 am | by emanisa.lk

නාමල් කරුණරත්න විපක්ෂයේ සිටිය දී මිනී පෙට්ටියක් ද රැගෙන විත් උක් ටොන් එකක් සඳහා රුපියල් 15000 ක මුදලක් ඉල්ලා දවස් 45ක් වාඩිලා සිටි නමුත් ඔවුන්ගේ මූලිකත්වයෙන් පිහිටවූ ඔහු ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් පාලනය තමන්ට දැනට ලබාදෙන රුපියල් 10000 ක මුදලද කප්පාදු කිරීමට සූදානම් වන බවට උක් ගොවියෝ චෝදනා කරති.

දුෂ්කරතා රැසක් මැද ලබන රුපියල් 10000ක මුදල කප්පාදු කිරීමට උත්සහ කලහොත් අනුර ගෝ ගම ආරම්භ කරන්නේ උක් ගොවියන් විසින් බවට ද ඔවුහු අනතුරු අඟවති.

උක් ගොවියන් මාධ්‍ය අමතා මේ බව සඳහන් කර සිටියේ සෙවනගල උක් ගොවීන් සහ ඒ ආශ්‍රිත රැකියාවලින් යැපෙන්නන් එක්ව දණ්ඩුව මංසන්ධියේ පැවැත්වු විරෝධතා උද්ඝෝෂණයකදී ය.

එහිදී අදහස් දැක්වූ සෙවනගල ඒකාබද්ධ ගොවි බල මණ්ඩලයේ සභාපති රුවන් සංජීව කුමාර පවසා සිටියේ සෙවනගල සීනි කර්මාන්තශාලාව වෙතින් මාස ගණනකට අදාළව උක් ගොවියන් වෙත මිලියන 200කට අධික මුදලක් ගෙවීමට ඇති නමුත් ඒ සඳහා කිසිදු සූදානමක් නැති බැවින් පාරට බැස උද්ඝෝෂණ කිරීමට සිදුව ඇති බවයි.

කර්මාන්තශාලාව දවසක් උක් තොග බාරගත්තොත් දවස් දෙකක් බාරගන්නෙ නැති බවත් එබැවින් ගොවියන්ගේ උක් අස්වනු කර්මාන්තශාලාව අවට ගොඩ ගසා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම මෙහිදී අදහස් දැක්වූයෙන්ම රියදුරු සංගමයේ නියෝජිතයකු පවසා සිටියේ අමාත්‍යවරයා රියදුරු සංගමයට මුදල් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේ පැවසුවත් තම ගිණුම්වලට එවැනි මුදලක් බැර වී නොමැති බවයි.

තම ගිණුමට සත පනහක්වත් වැටී නැතත් ඇමතිතුමා විසින් පත්කළ පරිපාලනයේ අයෙකුගේ ගෙදරට එම මුදල් ගොස් ඇත්දැයි තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

සෙවනගල සීනි කර්මාන්තශාලාව යනු තම ජීවනාලිය බවත් එහි පරිපාලන කටයුතු කරගෙන යාමට පවතින පරිපාලනය අසමත් නම් එයා හැකි පාර්ශ්වයකට බාර දී ගෙදර යන ලෙස ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *