ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීමට නොහැකි නම්, එම වගකීම සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දෙන ලෙස සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක ඉල්ලා සිටියි.
ඔහු මෙම අදහස් පල කළේ, සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්ත දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාව අමතමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ද මීළඟ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ නිරන්තර සාකච්ඡාවක පසුවන බව ඔහු සඳහන් කළේය.
ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ බලය ද තමන් වෙත ලබාදෙන්නේ නම්, රට නිසි පරිදි පාලනය කර පෙන්වීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු කීවේය.
රට මුහුණදී ඇති ප්‍රධානතම අර්බුදයක් වන බලශක්ති අර්බුදය විසඳීම සඳහා විශේෂ දැක්මක් සහ සැලසුම්සහගත වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස මහතා සතු බවද ඔහු ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම මෙරට පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ඉරානය වැනි රටවල් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවත්, ඉරාන තානාපතිවරයා ඉන්ධන ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබියදී වත්මන් රජයට එය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු කියා සිටියි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර මෙරට ජනතාවට අවශ්‍ය සහන ලබාදීමටත්, ජාත්‍යන්තර දේශපාලන ප්රවණතා හඳුනා ගනිමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමටත් සජිත් ප්‍රේමදාස මහතාට සුවිශේෂී හැකියාවක් පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.