අත්දැකීම් නැති පිරිසකට ආණ්ඩු බලය ලැබිලා රටම අවුලක.. ගොඩගන්න පුළුවන් සජබෙට විතරයි…!
අත්දැකීම් නොමැති පිරිසක් අතට ආණ්ඩු බලය ලැබීමෙන් රට අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් පවසයි.
ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව කලකිරීමට පත්ව ආණ්ඩු වෙනසක් අපේක්ෂාවෙන් කටයුතු කරන බවත් රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමේ හැකියාව ඇති පිරිස සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් ඒ මහතා කීය.
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා මෙසේ ද පැවසීය.
“ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ අය මොනවද කරන්නේ කියා අපි අවුරුදු දෙකක් බලාගෙන හිටියා. මැතිවරණයේදී ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් මේ අය ඉටු කරන බවක් තාමත් පේන්න නැහැ. දැන් අපි බලා හිටියා ඇති. ප්‍රධාන විපක්ෂය ලෙස අපි මේ ආණ්ඩුව ගෙනයන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරුද්ධව නැඟී සිටිය යුතුයි. දවසින් දවස ජනතාව පීඩාවට පත්වෙනවා. ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ.
ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී රට බංකොලොත් වුණා. ඒ වෙලාවේ අපේ වාසනාවට අපිට යළි නැඟීසිටින්න ලෝකයේ අනෙකුත් රටවල් උදවු කළා. මැද පෙරදිග යුදමය තත්ත්වයත් එක්ක අද ලෝකයම අසීරුතාවට පත්වෙලා. සෑම රටක්ම පාහේ ආර්ථික අර්බුදයකට මුහුණදෙනවා. එවැනි පසුබිමක අපේ රට ආර්ථික අතින් වැටුණොත් අපට උදවු කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අත්දැකීම් නැති පිරිසක් අතට බලය ලැබීම නිසා තමයි අද රට මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙන්නේ. මේ රට ඉතාම ඉක්මනින් බාරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව ඒ වෙනස අපේක්ෂාවෙන් බලා සිටිනවා. පුළුවන් නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියා අපි ආණ්ඩුවට කියනවා.”