අඩු මිල බෝතලේට විරුද්ධ හාල්වලින් බියර් හදන වංචනික කල්ලියක්….!

December 24, 2024 at 1:54 pm | by emanisa.lk

අඩු මුදලට මත්පැන් බෝතලයක් ලබාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දරන උත්සාහය අඩපණ කිරීමට උත්සහ දරන්නේ සහල්වලින් බියර් හදන සහ එයින් යැපෙන හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් බවට මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දූෂණය සහ අක්‍රමිකතා මර්දනය කරමින් කටයුතු කිරීමටත් අප සංගමය මීට පෙර සිට පෙන්වා දෙන පරිදි සුරාබදු ආදායම බිලියන තුන්සිය පනහකට (350) වඩා වැඩියෙන් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව වැදගත් බව වටහාගත් බවත් දන්වා සිටිමු.

මේ සඳහා ගත යුතු එක් පියවරක් ලෙස නීති විරෝධී මත්පැන් සඳහා විකල්පයක් ලෙස රුපියල් 2000/= (දෙදහස) නොඉක්මවන මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වා දිය යුතු බවට ඔහු විසින් යෝජනාවක් කළ බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත් මෙය දැනටමත් ක්‍රියාත්මකව පවතින ක්‍රමවේදයක් වන අතර එය නව සංකල්පයක් ලෙස හුවාදක්වමින් රජය සහ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු. මෙම ක්‍රියාව පිටුපස සිටිනුයේ ප්‍රකට මෘදු මත්පැන් නිෂ්පාදනය කරන බියර් සමාගමක් සහ එයින් යැපෙන අමාත්‍යාංශ නිලධාරීන් සහ පැරණි සුරාබදු නිලධාරීන් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය එනම් සුරාබදු ආඥා පනතට අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් මෙම සමාගම බියර් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිත කරන අතර දැනට වෙළෙඳපොළේ ඇති නීත්‍යානුකූල බියර්වලද ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතුව ඇත.

තව ද නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පිළිකුලෙන් යුතුව කතා කරනු ලබන ජාතික සංඝ සම්මේලනය සහ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙර රජය සමයේ පූජනීය ස්ථාන සහ පාසල්වලට ඇති දුර ප්‍රමාණයන් ලිහිල් කරමින්, මහජන විරෝධතා නොතකා සහ නීතියට පටහැනිව මත්පැන්හල් නිසි ක්‍රමවේදයකින් තොරව ලබාදීමේදී සහ මත්පැන් අලෙවිය නොයෙක් අයුරින් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති පවා සකසමින් කටයුතු කිරීමේදී සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමට කටයුතු කිරීමේ දී නිහඬව සිටීම ඉතාමත් කනගාටුවට කරුණක් බවද පෙන්වා දෙන්නෙමු.

එබැවින් නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනට රාජකාරි භාරගෙන සුළු කාලයක් වන අතර ඔහු විසින් නව රජයේ අවශ්‍යතාව ඉටුකර දීමට කටයුතු කරන බව අප හට ද පෙනී යන බැවින් ඔහු හට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීම සුදුසු බව අපගේ හැඟීම බව කාරුණිකව දන්වමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *