සාමකාමී විරෝධතාවලට නිදහස තියෙනවා…! රජයේ ගොඩනැඟිලි අල්ලන්න ඉඩ නෑ…! – ජනපති..

July 24, 2022 at 5:34 pm | by emanisa.lk

සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විටම කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි .

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය රජය විසින් තහවුරු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපොළ වෙනත් අරමුණුවලට යොදා ගැනීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බවට ඇමරිකා සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරයේ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළේය.

ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.

ගෝඨා ගෝ ගම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවෙි ආරක්ෂක අංශ විසින් එම ගම ඉවත් කර නොමැති බවත් වැරදි සමාජ මාධ්‍ය වාර්තා පළ වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *