විසිදාහකින් පඩි වැඩි නොකළොත් බලා ගමු…! – රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය…

October 16, 2023 at 4:11 pm | by emanisa.lk

ඉදිරි අයවැයෙන් සියලු ම රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් විසි දහසක වැටුප් වැඩි කිරීමක් සිදු නොකළහොත් ජනවාරි මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

“මේ වන විට ජීවන බර අහස උසට නැගල තියෙනවා. ජල, විදුලි, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර, වරිපනම් ගාස්තු ඇතුළු සියලු ම දේ දැරිය නොහැකි ආකාරයෙන් ඉහළ ගිහිල්ලා. අද නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව අපේ දරුවන් අසරණ වෙලා. තවදුරටත් අපිට ඉවසන්න බෑ.

ජීවන වියදම මේ තරම් ඉහළ ගියත් අපිට වසර අටකින් සත පහක්වත් වැටුප් වැඩි වෙලා නෑ. අපි සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සබරගමු ආණ්ඩුකාර නවීන් දිසානායක මහත්වරු පොරොන්දු වුණා මේ වසර තෙවන කාර්තුවේදී රාජ්‍ය වැටුප් වැඩි කරනවා කියලා. නමුත්, මේ දක්වා කිසිම වැටුප් වැඩි කිරීමක් කළේ නෑ. පොරොන්දුව කඩ කළා. මේ විදියට අපිට වූ පොරොන්දුව කීප විටක්ම කඩ කළා.

තවදුරටත් අපි රැවටෙන්නේ නෑ. සීනි බෝල කතා කියලා තවත් අපිව රවටන්න උත්සාහ කරන්න එපා කියලා ඒ අයට අපි කියනවා. අපේ අවසාන බලාපොරොත්තුව ඉදිරි අයවැයෙන් අවම වශයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබා ගැනීමයි. එහෙම නැති වුණොත් අපි ජනවාරි මාසයේ ඉඳලා වෘත්තීය වශයෙන් දැඩි තීන්දු තීරණවලට එළඹීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ මස 30 වෙනිදා එහි සමාරම්භය සනිටුහන් කරමින් දිවයින පුරා දැඩි විරෝධතා මාලාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.”

ඔහු මේ බව සඳහන් කළේ, අද (16) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *