විල්පත්තුව සහ අවට කලාපයේ පුරාවිද්‍යාත්මක අගය!

March 21, 2019 at 12:12 pm | by admin

වර්තමානයේ බොහෝ දෙනෙකු විල්පත්තුව පිළිබඳ කතා කරනුයේ ඒ ඇති පරිසර පද්ධතිය ජනාවාසකරණය සමග විනාශ වීම සම්බන්ධවයි. එමගින් මෙරට මෙරට වනාන්තර ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වී යන බව පෙන්වා දී ඇත. මෙම ලිපියෙන් මෙම වනාන්තරය රැකගැනීම හා එය මෙරට ඓතිහාසිකත්වය පෙන්නුම් කරන ස්ථානවලින් එකක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට ගනු ලබන උත්සාහයකි.

මෙරට ජනාවාසකරණය වසර එක්ලක්ෂ විසිපන්දහසක් පමණ පෙර සිදුවී ඇති බව පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇත. පැරණි මානවයන්ගේ ජනාවාස එම කාල වකවානුවේදී වෙරළාශ්‍රිත කලාපවල අතර දක්නට ලැබිණි. විල්පත්තුව ආශ්‍රිතව වයඹදිග වෙරළ තීරයේ ද ඇතැම් ස්ථානවල මෙම ජනාවාසකරණයට අයත් බොහෝ සාධක හඳුනා ගන්නට හැකිවී ඇත. එම කාල වකවානුවලට පසු පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව මෙරට හමුවූ වැදගත්ම සුසානය හමුවන්නේ මෙම කලාපයෙනි. එනම් පොම්පරිප්පු සුසාන යයි.

විමලා බෙග්ලි විසින් කැණීම් කරන ලද මෙම සුසානය මෙරට පැවති සුසාන චාරිත්‍රවලින් එකක් වන ප්‍රමාණයෙන් තරමක් විශාල වන කුම්භයක භස්මාවශේෂ හෝ අස්ථි කොටස් බහා මෙම සුසානය තුළ තැන්පත්කොට ඇත. එම ස්ථානයේ තිබී මෙම ජනාවාසය ට අයත් විශාල තොරතුරු ප්‍රමාණයක් වර්ෂ 1981දී සොයා ගන්නා ලද අතර ඔවුන් ගේ සංස්කෘතිය පැවති අභිචාර හා විවිධ සබඳතා පිළිබඳව හෙළිදරව් විය.

වර්තමානය වන විට මෙම ස්ථානය ආශ්‍රිතව සිදුවන මහා පරිමාණ බොරලු කැපීම නිසා ඉතා දැඩි ලෙස විනාශ වී ගොස් ඇති අතර අනාගතයේදී මෙම වනාන්තරය ජනාවාසකරණයක් සිදු වුවහොත් දැනට ඉතිරිවී ඇති කුඩා බිම් කොටස අනාගතයට අහිමිවනු ඇත.

මෙම ස්ථානය කුදිරමලේ, තම්බපණ්ණිවැනි ස්ථාන මෙරට මුල් යුගයේ සිටම වාණිජකරණයේ ඉතා වැදගත් වූ නාවික තොටුපළවල විය, මුල් යුගයේ සිටම මෙරට කලාපය ආශ්‍රිත මුතු නිෂ්පාදනය පිළිබඳව ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙරට අතීතයේ සුප්‍රසිද්ධත්වයට පත්වූයේ මුතු වෙළඳම හා ඒ ආශ්‍රිතව විවිධ ආභරණ නිෂ්පාදනය පිළිබඳවය. විජය කුමරු ලංකාවට පැමිණේ ද තම්බපන්නියෙන් බව සඳහන් වන අතර ඔහු පැමිණෙන විට කුවේණිය ඇතුළු කණ්ඩායමක් මේ කලාපය තුළ ජීවත් වූ බවත් සඳහන් වෙයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස මෙරට ජනප්‍රිය වූයේ විල්පත්තුව ඇතුළු වයඹ දිග මුහුදු තීරය තුළ කරන ලද මුතු කර්මාන්තය තුළින් වර්තමාන තුළ මෙම කලාපය තුළ සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙම කලාපයේ වනාන්තරයට කොල්ලන් කනත්ත ආදි වූ ස්ථානවල පැරණි නගරයක නෂ්ටාවශේෂ දැකගත හැකි වන අතර එය පැරණි වෙළඳ නගරයක් විය හැකි බව පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කරයි.

ගල්ගේ විහාරය වැනි වනාන්තරය පුරා විසිරී ගොස් ඇති ස්ථානවල බෞද්ධ නටබුන් දැකගත හැකි වන අතර එම ස්ථාන කාල වකවානු පිළිබඳව තව දුරටත් පර්යේෂණ සිදුකරගෙන යනු ලබයි. අනුරාධපුර අවධියට අයත් වෙහෙර විහාර අතර බුද්ධ ප්‍රතිමා ද දැකගත හැකි විය. මෙම වනාන්තරය තුළ අතීතයේ දී ඉදිකරන ලද වැව් ද දැකගත හැකිවේ.

පෞරාණික උරුමයන් රැකගැනීම සඳහා වර්තමානයේ සිදුකළ යුත්තේ මෙම කලාපය ආශ්‍රිත ජනාවාස කරණය නොව මෙම ස්ථානය අධි සංවේදී වනාන්තර පද්ධතියක් ලෙස පත්කොට මෙම පෞරාණික උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

උදයශාන්ත ගුණසේකර

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *