විධායක ජනපති ධූරය අහෝසි කිරීමට මහින්ද එකඟ වෙයි!

January 23, 2019 at 12:38 pm | by admin

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධානවලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වුවද 2015 ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අතර ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කිරීමට ද කටයුතු කළ යුතුය. ඒ සඳහා 2017 යෝජනා කළ පූර්ණ සමානුපාතික ක්‍රමය ඔවුන් විසින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සඳහා හොඳම ක්‍රමය දිනේෂ් ගුණවර්ධන කමිටුව මගින් යෝජනා කළ 70%ක් කේවළ ආසන සහ 30%ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරන සමානුපාතික ක්‍රමයයි.

කෙසේ වුව ද නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් යෝජනා කර ඇති පාර්ලිමේන්තුව සහ මධ්‍යම ආණ්ඩුව දුර්වල කර පළාත් සභා බලවත් කරන ආණ්ඩුකාරයා මහ ඇමති යටතට පත් කිරීම, පොලිසිය කැබලි 10කට කැඩීම ආදී යෝජනා මගින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වන හෙයින් එයට සම්පූර්ණයෙන් එරෙහි වන බව ද එම යෝජනාවල දැක්වෙයි. මහා සංඝ රත්නය උප්පරවැට්ටි දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතු බව ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත නම් සිරස්තලය යටතේ ලියා ඇති එම ලිපියෙන් ඉල්ලා සිටියි.

බෙදුම්වාදයට නැඹුරු මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහි වීමක් නොවන බවත් ප්‍රාදේශීය සමාජවලට කිසියම් රාමුවක් යටතේ සිය කටයුතු කරගෙන යාමට හැකියාවක් තිබිය යුතු බව තමන් පිළිගන්නා බව ද එළඹෙන ජාතික මැතිවරණයක දී තම ව්‍යවස්ථා යෝජනාවලිය ඉදිරිපත් කර ජනවරමක් ලබා ගන්නා බව ද මහින්ද රාජපක්ෂ මහතා සිය ලිපිය මගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *