විජේවීර ඝාතනයට තෝරදේණිය සම්බන්ධ යැයි කීමට අධිකරණයෙන් වාරණයක්…!

April 17, 2025 at 9:48 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ද සිල්වා තමන්ට එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය පවසයි.

“යුධ හමුදා පොලීසියේ රාජකාරි කරන කොට ඒ කාලය තුළ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ද සිල්වා එම රෙජිමේන්තුවේ රාජකාරි කළා ඡායාරූප ශිල්පියෙක් ලෙස. ඉන්ද්‍රානන්ද ද සිල්වා සේවයේ යෙදී සිටියදී කරපු වරදවල් කිහිපයකට යුද්ධාධිකරණයක් ඉදිරියට පමුණුවලා අවුරුදු 15ක සිර දඬුවමක් ලැබිලා පසු කාලයක ඔහු එයින් නිදහස් වුණා.

නිදහස් වුණාට පස්සේ නොයෙකුත් ආකාරයේ සාවද්‍ය බොරු චෝදනා රූපවාහිනී මාර්ගයෙන්, යූටියුබ් මාර්ගයෙන්, මුද්‍රිත ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් මට චෝදනා කරනවා මියගිය ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාගේ මරණයට මම සම්බන්ධ බවට. එයින් මගේ ජීවිතයටත් මගේ දරු පවුලටත් ලොකු තර්ජනයක් වෙලා තියෙන්නෙ. ඒ නිසා මම හිතුවා මෙයට සහනයක් ලබාගන්න ගරු අධිකරණයට ඇවිල්ලා ඉල්ලා සිටින්නට.”

මෙම ඉල්ලීම ඊයේ (16) දිනයේදී සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධව මහ ජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව මෙම කොන්දේසි සහිත වාරණ නියෝගය පනවා ඇත්තේ අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ය. අශෝක තෝරදෙණිය ජාතික ජන බලවේග ආණ්ඩුවේ ආධාරකරුවෙකි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *