වැට් බදු නිසා මාසික වියදම 40 000කින් වැඩි වෙන්නේ නෑ..! – මුදල් අමාත්‍යංශය…

December 29, 2023 at 4:07 pm | by emanisa.lk

වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා ප්‍රකාශ කරයි.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් මෙම කාර්යය කරන බවද තනූජා පෙරේරා කීවාය.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මේ බව සඳහන් කළේ ‘එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

තව ද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *