රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරනු! කොළඹ දී උද්ඝෝෂණයක්! – රාජිත සහ රහුමානුත් එක්වෙයි…

April 30, 2021 at 6:05 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින්, සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් කොළඹ දවටගහ පල්ලිය අසල දී අද (30) පැවැත්විණි.

”රිෂාඩ් නිදහස් කරනු, කාදිනල් සතුටු කිරීමට සුළු ජාතික නායකයන් පාවිච්චි කරන්න එපා. අපේ නායක රිෂාඩ්ට සාධාරණය ඉටු කරන්න, සුළු ජාතිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිනු, ආණ්ඩුවේ කැත නම වහන්න බිල්ලට අහුවුණේ රිෂාඩ්ද..?,” ආදි ලෙස සඳහන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවෝ හඬ නැගූහ”.

විරෝධතාවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ”රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය සාධාරණ නෑ. එම අත්අඩංගුවට ගැනීම රිෂාඩ් බදියුදීන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින, මුස්ලිම් ජනතා නායකයෙක් වන බදියුදීන් මහතාගේ අත්අඩංගුවට ගැනීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැක සංකා මතු කරනවා. අයුතු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි” යැයි සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ”වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක අධික කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කිරීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආකාරය අප දුටුවා. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කිසිදු චෝදනාවක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අදාළව මේ දක්වා ඔප්පු කර නැහැ. ජනාධිපති කොමිසමෙන්ද රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළා. එහි අවසන් වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට චෝදනාවක් එල්ල කර නැහැ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙවර අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් අනුව පළිගැනීමේ චේතනාවෙන්. ආණ්ඩුව විවේචනය කරන විපක්ෂ දේශපාලඥයන් බිය ගැන්වීම ට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා. බලහත්කාරයෙන් රඳවා නොගෙන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා යැයි ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස