රට බංකොලොත් වුණ හැටි හොයන්න විපක්ෂයෙන් කමිටුවක්…!

July 16, 2023 at 9:10 am | by emanisa.lk

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපාය මාර්ගයක් බවය.

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම කාලය කා දමන නිරර්ථක ක්‍රියාවක් බැවින් සමගි ජන බලවේගය එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊට අමතරව විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටුවේ තීරණය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රටේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුත්තන් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය උදෙසා පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම සිය සත්භාවයෙන් යුක්තව දායකත්වය ලබාදිය හැකි බව ද විපක්ෂ නායකවරයා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *