යහපාලන ආණ්ඩුව තිබුණා නම් කොවිඩ් එක්කම ආර්ථිකය සමූලඝාතනය වෙනවා….!

September 6, 2021 at 9:25 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

කෝවිඩ් ව්‍යාප්තිය 2019 අවසන් කාලය තුල ආරම්භ වීමත් සමග ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරවද ආර්ථික සමාජයීය ගැටළු රාශියක් ඒ සමග පැන නැගුන අතර මිනිසුන්ගේ ජීවන තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට සිදු විය. මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය, සංචරණය සීමා කිරීම වැනි කරුණු සමග ජීවත් වීමට මහජනතාවයට සිදු වූ අතර රටේ නිෂ්පාදනය, අපනයන, ආනයන ආදී කරුණු කෙරෙහි ද අහිතකර ලෙස බලපාන ලදී.

සෞඛ්‍ය අංශ සදහා විශාල වියදමක් දැරීම, PCR ආදී පරීක්ෂණ, ඔක්සිජන් ආනයනය, එන්නත්කරණය සදහා යන වියදම්, නිරෝධායන මධ්‍යස්ථාන හා බඩු මල්ලක් ලබා දීම හා රුපියල් 5000 ක සහන ලබා දීම ආදී වියදම් අළුතෙන් බිහි විය. මීට අමතරව රජයේ අදායම් මාර්ග අඩු වීමත්, විදේශ විනිමය හිඟතාවය, සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීම ආදී කරුණු සමඟ අනාගතයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපාවිද යන්න ප්‍රශ්නාර්ථයක්? මෙහිදී අප ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය තුල ආර්ථිකයේ හැසිරීම හා ආර්ථිකය තිබු තත්වය පිලිබදව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය

රටේ ආර්ථික වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි දැක්විය.
2006 – 7.5%
2007 – 7.1%
2008 – 4.6%
2009 – 4.8%
2010 – 8%
2011 – 8.2%
2012 – 6.3%
2013 – 7.3%
2014 – 7.4%

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික වර්ධන වේගය 2014 වර්ෂය දක්වා පාදක වර්ෂය කරගනු ලැබුවේ 2002 වේ. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විගස රාජපක්ෂ ආණ්ඩුව අසමත් ලෙස හුවා දැක්වීම පිණිස රටේ ආර්ථික වර්ධන වේගය මනින නිර්ණායක වෙනස් කරන ලදී. එහිදී පාදක වර්ෂය 2010 ලෙස කිරීමත් සමග මහ බැංකු දත්ත නැවත වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. නමුත් එය ඔවුනටම පාරා වළල්ලක් විය. ඒ අනුව ඉහත දැක්වූ ආර්ථික වර්ධන වේගයන් පහත පරිදි වෙනස් විය.

2010 – 7.9%
2011 – 8.4%
2012 – 9.1%
2013 – 3.4%
2014 – 5%

මෙම වෙනස්කම නිසා කලින් 2012 වර්ෂයේ 6.3% ක් ව තිබු ආර්ථික වර්ධන වේගය නව ක්‍රමය සමගින් 9.1% ක් දක්වා ඉහල ගියේය. 2014 වර්ෂයේ 7.4% දක්වා තිබු වර්ධන වේගය නව ක්‍රමය සමග 5% දක්වා පහත වැටිණි.

මෙරට ආර්ථිකය හැසිරවීමේ මනා හැකියාව හා දක්ෂතාවය පිළිබද පුරසාරම් පවසන ලද යහපාලන රජය බලයට පැමිණි පසු මෙරට බොහෝ ජනයා ආර්ථිකය වර්ධනය වන බවට බලාපොරොත්තු විය. නමුත් යහපාලකයන් ඔවුන් විසින්ම හදුන්වා දුන් ආර්ථික ඔස්තාර්වරුන් මෙරට ආර්ථිකය හසුරවූ අයුරු පහත මහබැංකු දත්ත වලින් නිගමනය කළ හැක.

2015 – 5%
2016 – 4.5%
2017 – 3.6%
2018 – 3.3%
2019 – 2.3%

2014 වර්ෂයේ 5% ක් දක්වා තිබු ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2.3% ක් දක්වා අඩු කිරීමට යහපාලනය සමත් විය.

යහපාලන ආර්ථික ඔස්තාර් නොව මෙරට සැබෑ ආර්ථික ඝාතකයින්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික මෙවලම් හැසිරවීමේ අදක්ෂතාව නිසාවෙන් වසරින් වසර මෙරට ආර්ථිකය විනාශ විය. 2015 වර්ෂයේ සිට කිසිදු ආර්ථික අර්බුදයක්, වසංගතයක්, යුධමය තත්ත්වයක් කිසිවක් නොතිබූ කාලයක පවා ආර්ථිකය දිනෙන් දින පහළ යෑම සිදු විය.

එහිදී අප අමතක නොකළ යුතු කරුණක් වනුයේ ශ්‍රී ලංකාව කෝවිඩ් වසංගතය ට මුහුණ දෙන විට ලංකාව හොඳ ආර්ථික තත්වයක නොසිටි අතර පසුගිය දශකයක කාලයක තිබු දුර්වලම ආර්ථිකය සමග කෝවිඩ්වලට එරෙහිව සටන් කිරීමට සිදු වූ බවයි.

ඇතැම් ආර්ථික විද්වතුන් තම න්‍යායාත්මක දැනුම භාවිතයෙන් පවසන්නේ යහපාලන රජය තව දුරටත් බලයේ රැදී සිටියේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම ඝාතනය වන බවයි. ඔවුන් තව දුරටත් සඳහන් කරන්නේ ඔවුන්ගේ ආර්ථික හැසිරවීමේ දුර්වලතාව නිසා කෝවිඩ් ව්‍යාප්තිය වැනි වසංගත තත්ත්වයකදී කෙසේ වත් යහපාලන රජයකට මෙරට ආර්ථිකය හසුරවා ගැනීමට නොහැකි බවය.

යුදමය වාතාවරණයකදී වුවද ආර්ථිකය නිසි පරිදි හසුරවමින් ඉතා ඉහල ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකියාව තිබු, එකල ආර්ථිකය හසුරවිම සිදු කළ විද්වතුන් වර්තමානයේ දී ද ආර්ථිකය හැසිරවීම නිසාවෙන් මෙරට ආර්ථිකය ගැන කොවිඩ් ව්‍යවසනයේ දී වුවද යහපත් බලාපොරොත්තු තබා ගත හැකි බවයි.

සැබවින්ම යහපාලකයින් ආර්ථික ඔස්තර්වරුන් ද ආර්ථික ඝාතකයින් ද යන්න තීරණය කිරීම සඳහා ඉහත මහබැංකු වාර්තා පරිශීලනය කිරීමෙන් බුද්ධිමත් ඔබට අවබෝධ කර ගත හැකිය.

– මිලින්ද රාජපක්ෂ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස