මිහින්තලේ පොසොන් පිංකමට රජය ලක්ෂ 288ක් දුන්නා…! විහාරස්ථානවල ආදායම් විගණනය කළ යුතුයි..! – වනවාසී රාහුල හිමි..

June 2, 2023 at 9:25 am | by emanisa.lk

විහාරස්ථානවලට ලැබෙන මුදල් විගණනය කොට බෞද්ධ කොමසාරිස්වරයා යටතේ පාලනයට නීති සම්පාදනය කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල නාහිමියෝ සඳහන් කළහ.

“මිහින්තලාවේ පොසොන් පින්කම කරන්න රජය රුපියල් ලක්ෂ 288 දුන් බවට ඕන තරම් මා ළඟ සාක්ෂි තිබෙනවා. මිහින්තලයට ඕන තරම් සල්ලි ලැබෙනවා. රජයත්, දෙපාර්තමේන්තු දෙකකුත් එකතු වෙලා තමයි ඒ මුදල දීලා තියෙන්නේ.

ලොකු ලොකු පන්සල්වලට බලන්න කොච්චර මුදල් ලැබෙනවා ද කියලා. හැබැයි මේ පළාතේ දුප්පත් පන්සලකට ඔය කවුරුත් දෙන්නෑ. මම යෝජනාවක් කරනවා ඔය ලොකු ලොකු පන්සල්වලට ලැබෙන මුදල් පිළිබඳ විගණනයක් කරන්න කියලා. මේ දවස්වල මාධ්‍යයේ ප්‍රධාන චරිතයක් බවට පත්වෙලා ඉන්නේ මිහින්තලේ හාමුදුරුවෝ.

මිහින්තලේ හාමුදුරුවෝ එක්ක මගේ පෞද්ගලික අමනාපයක් නෑ. මම එයාට පෞද්ගලික පහර ගහනවා නෙමෙයි. සල්ලි නෑ, සල්ලි නෑ කිව්වට කෝටි ගණන් මිහින්තලාවට හම්බෙනවා. අනුරාධපුරයට හම්බෙනවා. දළදා මාලිගාවට හම්බෙනවා. කතරගමට සල්ලි ලැබෙනවා. විදේශිකයෝ ගිහිල්ලා ඩොලර් මිටි ගණන් ඒවට ලබා දෙන්නේ. හැබැයි මේ වගේ පන්සලකට රුපියල් දාහක් තියා සිමෙන්ති කොට්ටයක් අරන් දෙන්න ලොකු ලොකු පන්සල්වල අය ඉදිරිපත් වෙන්නේ නැහැ.

මම වත්මන් ජනාධිපතිතුමාට යෝජනා කරනවා, මේ පන්සල්වලට ලැබෙන මුදල් විගණනය කරලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට ඒක පවරලා දීලා ඒ සම්බන්ධ කමිටුවක් හදන්න කියලා. ඒක කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. මේ ආණ්ඩුවෙත් ඉන්නේ පට්ටපල් තක්කඩි හොරු. අවුරුදු හැත්තෑ දෙකක් ම මේ රටේ ආණ්ඩු කරපු උදවිය කළේ බඩ වඩා ගත්ත එක විතරයි. ඕක තමයි ඇත්ත.

ඒ නිසා පාර්ලිමේන්තුව ඉන්න මන්ත්‍රීවරු 225 ම විශෝධනය කරන්න ඕනේ. ඒක නිසා මම වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා දේවාලගම් පනත ගෙනැල්ලා, සංඝාධිකරණය පනත ගෙනැල්ලා, ඒ වගේ ම මේ පන්සල්වලට, විහාරස්ථානවලට ලැබෙන ආදායම් බෞද්ධ කටයුතු කොමසාරිස් යටතට පත් කරලා නිසි විදිහට මේවා කරගෙන යන්න කියලා.”

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සංරක්ෂණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට 01 වෙනිදා එක්වෙමින් වනවාසී රාහුල නාහිමියෝ ඒ බව සඳහන් කළහ.

එම ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට මහා සංඝරත්නය සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *