පොල් ගෙඩියෙන් පැළ ගත් යුගය අවසන්..! පොල් මල් රේණුවෙන් සුපිරි පොල් පැල..!

January 24, 2024 at 11:00 am | by emanisa.lk

ලෝකයේ පළමු වරට පොල් මලෙහි සියුම් කොටසක් යොදා ගනිමින් කරන ලද (Unopened Female Flower) Clonal Plant පටක රෝපණය තුළින් පොල් පැළ සැකසීම සම්බන්ධව ලුණුවිල පොල් පර්යේෂණායතනය කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇත. මෙම ක්‍රමය ඔස්සේ පොල් පැළ සකස් කිරීම සිදු කර ඇත්තේ ලෝකයේ පළමු වරටය.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ, ලුණුවිල,පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසකි.

ලෝකයේ අනෙකුත් රටවල පොල් පැළ සැකසීමේ පටක රෝපණ කටයුතු කෙරෙන්නේ පොල් මදයෙන් කොටසක් යොදා ගනිමිනි. එහෙත් එහිදී මව් ගසට සමාන පැළයක් නොසෑදෙන බව පර්යේෂකයෝ පවසති.

පොල් මලෙහි සියුම් කොටසක් යොදාගෙන කරන ලද පටක රෝපණ ක්‍රමය මගින් මව් ශාකයට සමාන පැළයක් සාදාගත හැකි අතර රෝගොවලට ඔරොත්තුදීමේ හැකියාවද වැඩි බව සොයාගෙන තිබේ.

සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමය තුළ පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබිණි.

ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් මේ වන විටත් මෙම නව තාක්ෂණය යොදා ගනිමින් තැඹිලි පැළ නිර්මාණය කිරීම ද ආරම්භ කර ඇති බව ආචාර්ය සනාතනී රණසිංහ පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *