පාස්කු ප්‍රහාරයට මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව ම වගකිව යුතුයි…! එය ඉතිහාසයේ ආණ්ඩුවක විශාලතම අත්වැරදීමයි….! – පාස්කු කොමිසම…

February 24, 2021 at 12:22 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරයට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයි ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුම්වත්භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

එබැවින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බව ද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බව ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව ද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස